අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලය විසින් 82 වැනි වරටත් සංවිධානය කිරීමට සැලසුම් කර තිබූ වාර්ෂික මහා පෙරහැර මංගල්‍යය පැවැත්වීම සඳහා අවසර ලබා නොදීමට අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ගෙන ඇති තීරණයට එරෙහිව මෝදර දේවාල පෙරහැර කමිටුව අද (17) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
පෙරහැර පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු රාජ්‍ය ආයතනවලින් අවසර ලබාගෙන ඇති පසුබිමක, ඒ සඳහා අවසර ලබා නොදෙන බව අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ලිපියක් මාර්ගයෙන් පෙරහැර සංවිධාන කමිටුව වෙත දැනුම් දී ඇති බව පෙත්සමේ සඳහන් වනවා.
එම තීරණය ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් සහ එය ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා අදාළ බලධාරීන් වෙත නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර තිබෙනවා.
ඒ අනුව අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා, දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස්පතිවරයා වෙත අදාළ නියෝග නිකුත් කරන ලෙස පෙත්සමෙන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.













