ඉන්දියාවේ ”Unified Payments Interface – UPI” ඩිජිටල් ගෙවීම් පද්ධතිය තවත් රටවල ගෙවීම් ජාල සමඟ සම්බන්ධ කරමින් එහි ගෝලීය භාවිතය පුළුල් කළ යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.
මුම්බායි හි පැවති මූල්‍ය තාක්ෂණ සමුළුවක් අමතමින් මෝදි සඳහන් කළේ, විශාල ඉන්දීය ඩයස්පෝරාවක් සිටින සහ ඉන්දියාව සමඟ ශක්තිමත් වෙළෙඳ සබඳතා පවතින රටවල් වෙත UPI පද්ධතිය ප්‍රමුඛව ව්‍යාප්ත කළ යුතු බවයි.
ඉන්දියාවේ National Payments Corporation of India විසින් ක්‍රියාත්මක කරන UPI පද්ධතිය, ගනුදෙනු සංඛ්‍යාව අනුව ලොව විශාලතම ක්ෂණික සිල්ලර ගෙවීම් පද්ධතිය බව 2025 IMF වාර්තාවක් පෙන්වා දෙනවා.
නවතම දත්ත අනුව අගෝස්තු මාසයේදී පමණක් UPI හරහා ගනුදෙනු බිලියන 24.51ක් සිදුකර ඇති අතර, ඒවායේ සමස්ත වටිනාකම ඉන්දීය රුපියල් ට්‍රිලියන 29.82ක්, එනම් අමෙරිකානු ඩොලර් බිලියන 314කට වැඩියි.
UPI මේ වන විට රටවල් 11ක ක්‍රියාත්මක වන අතර සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය සහ නේපාලය ද ඒ අතර වනවා.
2023දී UPI සහ සිංගප්පූරුවේ PayNow පද්ධතිය සම්බන්ධ කිරීමත් සමඟ ජංගම දුරකථන අංකයක් හෝ Virtual Payment Address එකක් භාවිත කර දෙරට අතර ක්ෂණිකව මුදල් හුවමාරු කිරීමේ පහසුකම ද හඳුන්වා දෙනු ලැබුවා.
UPI තවත් රටවල ගෙවීම් පද්ධති සමඟ සම්බන්ධ කිරීමෙන් විදේශගත ඉන්දියානුවන්ගේ මුදල් ප්‍රේෂණ වියදම් අඩු කිරීමටත්, දේශසීමා හරහා සිදුකරන ගනුදෙනු වඩාත් පහසු කිරීමටත් හැකිවනු ඇති බව මෝදි පෙන්වා දෙනවා.
ඉන්දීය රජය සහ එරට මහ බැංකුව ද UPI ජාත්‍යන්තර භාවිතය පුළුල් කිරීමට පසුගිය කාලය පුරා ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා.













