භූතානයේ නිල සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍යවරිය යළි දිවයිනට (වීඩියෝ)

භූතානයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එම නිල සංචාරය අවසන් කරමින් යළි දිවයිනට පැමිණ තිබෙනවා.

අගෝස්තු 31 සිට සැප්තැම්බර් 05 වන දින දක්වා සිදුකළ මෙම නිල සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍යවරිය භූතානයේ Royal Bhutan Airlines – KB 200 ගුවන් යානයෙන් මෙලෙස යළි දිවයිනට පැමිණ තිබුණා.

අග්‍රාමාත්‍යවරියගේ මෙම නිල සංචාරය අතරතුර භූතානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ජිග්මේ ඛේසාර් නම්ගියෙල් වංචුක් රජතුමා හමු වූ අතර භූතාන අග්‍රාමාත්‍ය දාශෝ ත්සේරින්ග් තොබ්ගේ සහ අධ්‍යාපන හා කුසලතා සංවර්ධන අමාත්‍ය යීසං දේ තපා සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් සහ අනෙකුත් ජාත්‍යන්තර පාර්ශවකරුවන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයින් සමඟ ද අග්‍රාමාත්‍යවරිය සාකච්ඡා පැවැත්වූවා.

ශ්‍රී ලංකාව සහ භූතානය අතර පවතින ද්විපාර්ශවීය සබඳතා සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් අධ්‍යාපනය, සංස්කෘතිය, පරිසරය, තිරසාර සංවර්ධනය සහ ජනතාව අතර සබඳතා ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරියගේ මෙම සංචාරය වැදගත් අවස්ථාවක් වුණා.