මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) පෙරවරුවේ ගැටඹේ මහවැලි ගංතොට දිය කපන ස්ථානයේ දී සිදුකරනු ලැබුවා.
සම්ප්‍රදායානුකූල දිය කැපීමේ මංගල්‍යය චාරිත්‍රානුකූලව සිදු කිරීමෙන් පසුව පෙරහැර නැවත මහනුවර ගණදෙවි කෝවිල දක්වා විත් ඉන් පසු ගෙඩිගේ රජමහා විහාරය වෙත ළඟා වුණා.
අනතුරුව අද දහවල් පෙරහැරින් පසු මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වීමට නියමිතයි.
ගෙඩිගේ රාජමහා විහාරයේ සිට අද (28) පස්වරු. 2:18ට උතුරු දිශාමුඛව පිටත්වන දහවල් පෙරහැර, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර සහ දේව වීදිය ඔස්සේ රජවීදියට හැරී, ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රය තෙවරක් ප්රදක්ෂිණා කිරීමට නියමිත අතර,
අනතුරුව පස්වරු 4:01ට උතුරු දිශාමුඛව දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදුකෙරෙනවා.
ඉන් අනතුරුව පෙරහැර කටයුතු සාර්ථකව නිම කළ බව සඳහන් සන්නස් පත්‍රය දියවඩන නිලමේවරයා ප්රමුඛ සතර මහා දේවාලවල නිලමේවරුන් විසින් සංදේශයකින් ජනාධිපතිවරයා වෙත භාරදෙන අතර, එම උත්සවය අද (28) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි.













