පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික තාපය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, යාල ජාතික උද්‍යානයේ I සහ II කලාප එළඹෙන සැප්තැම්බර් මස 14 වන දින සිට ඔක්තෝබර් මස 15 වන දින දක්වා මාසයක කාලයකට වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳිගේ සහ පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපයේ අවම වර්ෂාපතනයක් ලබන කලාපයක පිහිටි යාල උද්‍යානයේ I සහ II කලාප, අතීතයේ සිටම වාර්ෂිකව සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල පවතින දැඩි නියඟය හා අධික උෂ්ණත්වය හේතුවෙන් සතුන්ට ඇතිවන තාප ආතතිය අවම කිරීම පිණිස සම්ප්‍රදායිකව වසා තැබෙනවා.
නියඟයෙන් පීඩාවට පත් සතුන් උදෙසා අඛණ්ඩව ජලය සැපයීම සහ උද්‍යානය තුළ පිහිටි ස්වාභාවික වැව්, පොකුණු හා දියවලවල් ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් සිදු කරන අතර කලාප I සහ II තුළ පිහිටි ප්‍රවේශ මාර්ග, ගොඩනැගිලි, සංචාරක නිවාස සහ අනෙකුත් යටිතල පහසුකම්වල නඩත්තු හා අලුත්වැඩියා කටයුතු මෙම කාලසීමාව තුළ සිදු කිරීමට නියමිතය.
මෙම කාලසීමාව තුළ I සහ II කලාප තුළට ඇතුළුවීමට අවසර හිමිවන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ අදාළ කාර්ය මණ්ඩලයට පමණයි.
මේ අතර සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම අවම කරමින්, නියඟයේ දැඩි පීඩනයට ලක්ව නොමැති යාල ජාතික උද්‍යානයේ III, IV, V සහ VI යන කලාප දෙස් විදෙස් සංචාරකයින් සඳහා බාධාවකින් තොරව විවෘතව පවතිනවා.













