සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තීන්ගේ සේවාවේ ඖෂධවේදී තනතුර සඳහාවන අනුස්ථාපන හා සමායෝජන පුහුණු පාඨමාලාවට උපාධිධාරීන් 142 දෙනෙක් බඳවා ගැනීමේ ලිපි ප්රදානෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව හා ජනතා හිතකාමීභාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය මානව සම්පත් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම උපාධිධාරීන් අනුස්ථාපන හා සමායෝජන පුහුණුව සඳහා බඳවා ගැනීම සිදු කෙරෙනවා.
තෘතීයික හා ද්විතීයික රෝහල් මෙන්ම තෝරාගත් මූලික රෝහල් කිහිපයක මෙම අනුස්ථාපන හා සමායෝජන පුහුණු පාඨමාලාව මාස හයක කාලයක් පැවැත්වීමට නියමිතයි.
වෘත්තීය දැනුම, කුසලතා හා ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම තුළින් අනාගත සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය වෘත්තීයමය ඖෂධවේදීන් පිරිසක් බිහිකිරීම මෙහි ප්‍රධාන අරමුණ වනවා.
මෙම ඖෂධවේදී පුහුණු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2,493 හා 2026.06.12 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාරව අයදුම්පත් කැඳවා තිබූ අතර, ඒ අනුව 2026.08.16 දින තරග විභාගය පවත්වා තිබෙනවා.
එහි ප්‍රතිඵල මත 2026.08.23 දින සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම් ලත් අභ්‍යාසලාභීන් තෝරා ගැනීම සිදුකර තිබුණා.
ඒ අනුව, අදාළ විෂය ක්ෂේත්රයේ උපාධි හා නියමිත සුදුසුකම් සම්පූර්ණ කළ උපාධිධාරීන් 142 දෙනෙකු වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘත්තිකයන්ගේ සේවාවේ ඖෂධවේදී තනතුර සඳහා වන අනුස්ථාපන හා සමායෝජන පුහුණුව සඳහා තෝරාගෙන තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, 2026 අගෝස්තු 16 වන දින තරග විභාගය පැවැත්වීමෙන් අනතුරුව දින අටක් වැනි කෙටි කාලසීමාවක් තුළදී තේරීම් ක්‍රියාවලිය අවසන් කර පුහුණුව සඳහා අදාළ ලිපි ප්රදානය කිරීමට හැකිවීම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව පිළිබිඹු කරන වැදගත් අවස්ථාවක් බව සඳහන් කළා.
රාජ්‍ය සේවය අකාර්යක්ෂම බවට පවතින මතය වෙනස් කිරීමට මෙවැනි කඩිනම් හා කාර්යක්ෂම පරිපාලන ක්‍රියාදාමයන් වැදගත් වන බවද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම උපාධිධාරීන් පුහුණුව සඳහා බඳවා ගනු ලැබුවද, එය රාජ්‍ය සේවාවට එක්වූවා සේ සලකන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එළඹෙන වර්ෂයේ පෙබරවාරි මස දෙවන සතිය වන විට මෙම කණ්ඩායම සඳහා ස්ථිර පත්වීම් ලබාදීමට හැකියාව පවතින බවද පැවසුවා.
රාජ්‍ය සේවයට එක්වීමට අපේක්ෂිත මෙම නවක වෘත්තිකයන් අනාගතයේදී මෙරට ජනතාවගේ සෞඛ්‍යය හා ජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම ඉහළ කැපවීමකින් හා වෘත්තීයමය වගකීමකින් යුතුව ඉටු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
සෞඛ්‍ය සේවාවේ නිරත සියලු වෘත්තිකයන් රෝගී සත්කාර සේවාවේ අත්‍යවශ්‍ය පුරුක් වන අතර, ඖෂධවේදී වෘත්තියද ගුණාත්මක හා ආරක්ෂිත සෞඛ්‍ය සේවාවක් සැපයීමේ සමස්ත ක්‍රියාවලියේ වැදගත් අංගයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබුවා.
මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සෞඛ්‍ය සේවාවේ ප්‍රමුඛතම කාර්යයක් වන අතර, සිය ජීවිත නිරෝගීව පවත්වා ගැනීමටත්, රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමෙන් වැළකී සිටීමටත් අවශ්‍ය අවකාශ සලසා දීම මෙන්ම, මෙරට පුරවැසියන් යහපත් ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වයකින් පවත්වා ගැනීමට සහාය වීමද ප්රමුඛ අරමුණු විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළා.
වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්රය මුහුණදෙන අභියෝග වෙනස් වී ඇති බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා, බෝ නොවන රෝග, වසංගත රෝග, ඩෙංගු, හදිසි අනතුරු හේතුවෙන් සිදුවන මරණ හා ආබාධිත තත්ත්වයන්ද, පෝෂණ ගැටළු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බව සඳහන් කරනු ලැබුවා.
ශ්‍රී ලංකාව ලෝකයේ සෞඛ්‍ය දර්ශක අතර සාපේක්ෂව ඉහළ ස්ථානයක පසුවීම වැදගත් ජයග්‍රහණයක් වුවද, එම ජයග්‍රහණය මත පදනම්ව වර්තමානයේ පවතින සෞඛ්‍ය අභියෝග අවතක්සේරු කළ නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය එම අභියෝග ජය ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතියේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම කාලීන අවශ්‍යතාවයක් බවද සඳහන් කළා.
ආයතන කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක සිට පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියක් දක්වා සෞඛ්‍ය සේවාව පරිවර්තනය කරමින් සිටින බවද සඳහන් කළ අමාත්‍යවරයා එම පරිවර්තනය යටතේ ඉදිරියේදී මෙම නවක වෘත්තිකයන්ටද නිශ්චිත ජනගහනයක් සඳහා සෞඛ්‍ය සේවා සැපයීමේ කණ්ඩායම්වල සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බවද පෙන්වා දුන්නා.
සෑම වර්ෂයකම ඖෂධ සඳහා රුපියල් බිලියන 200කට ආසන්න මුදලක් වැය කරනු ලබන තත්ත්වයක් තුළ එම වියදමට සාපේක්ෂව අපේක්ෂිත සෞඛ්‍ය ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වන්නේ නම්, එම ක්රියාදාමයේ පවතින අඩුපාඩු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් සෙවිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.
ලබාදෙන ඖෂධ සහ ප්‍රතිකාරය නිසි පරිදි ක්‍රියාත්මක වී තිබේද සහ එහි ප්‍රතිඵල කවරේද යන්න දත්ත මත පදනම්ව පසු විපරම් කර ප්‍රතිකාර ක්‍රමවේද තවදුරටත් සංවර්ධනය කිරීම සෞඛ්‍ය කණ්ඩායමේ සාමූහික වගකීමක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.
මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
එමෙන්ම, මෙරට ස්ථාපිත ජාතික රෝහල් ත්‍රිත්වය ඇතුළු ශික්ෂණ, තෘතීයික හා ද්විතීයික රෝහල් 65ක් සඳහා අතිනවීන වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කරමින් සිටින බවද සදහන්කල අමාත්‍යවරයා ඒ යටතේ කැත්ලැබ් රසායනාගාර 16ක් ඇතුළු අතිනවීන වෛද්‍ය උපකරණ රැසක් සෞඛ්‍ය පද්ධතියට එක් කිරීමට කටයුතු කරමින් පවතින බවද වැඩිදුරටත් සඳහන් කළා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, ජනක කිත්සිරි ගුණවර්ධන, චාමික එච්. ගමගේ, හර්ෂණී සිරිනාම සහ කේ.පී. යෝගචන්ද්‍ර ද, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්වන හර්ෂප්‍රිය සිසිර කුමාර, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ සහ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර යන මහත්වරුන් ද, අධ්‍යාපන, පුහුණු හා පර්යේෂණ අංශයේ පුහුණු අධ්යක්ෂ වෛද්‍ය සමන්ත රණසිංහ ඇතුළු අධ්යක්ෂවරුන්, අමාත්‍යාංශ නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන් සහ පුහුණුව සඳහා තෝරාගත් උපාධිධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා













