රතු කොඩි නොතකා දියට බැස ගසාගෙන ගිය අයෙක් ජීවිතාරක්ෂක පොලිසියෙන් බේරාගනී

දියවැලකට හසු වී ගසාගෙන යමින් සිටි පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට ගල්කිස්ස වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරි නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්ට අද (18) හැකිව තිබෙනවා.

දිය නෑමට අවදානම් බව සඳහන්කර රතු කොඩි යොදා තිබියදීත් එම අනතුරු ඇඟවීම නොතකා ජීවිතාරක්ෂක ඒකකයට වම් පසට වන්නට සවස 3.45ට පමණ එක් පුද්ගලයෙක් දියට බැස ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ක්ෂණිකව ඇති වූ දියවැලකට හසුවී දියේ මීටර් 100 ක් පමණ ගසාගෙන යමින් සිටි එම පුද්ගලයා බේරා ගැනීමට ජීවිතාරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වී තිබෙනවා.

ඔහුගේ ජීවිතය බේරා ගැනීමෙන් පසුව ගොඩබිමට රැගෙනවිත් මූලික ප්‍රථමාධාර ලබාදීමට කටයුතු කර තිබුණා.