පාකිස්ථානය විසින් පාලනය කරනු ලබන කාශ්මීර කලාපයේදින කිහිපයක් තිස්සේ පැවැති දැවැන්ත මහජන විරෝධතා සහ පාකිස්ථාන ආරක්ෂක අංශ අතර ඇතිවූ දරුණු ගැටුම්වලින් සිවිල් වැසියන් 09 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබීමෙන් පසු, විරෝධතාකරුවන් සහ රජය අතර ඇතිකරගත් තාවකාලික එකඟතාවක් මත විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව නතර කර ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.
කලාපය තුළ පවතින අධික ජීවන වියදම, තිරිඟු පිටි සඳහා ලබාදෙන සහනාධාර කපාහැරීම සහ විදුලි ගාස්තු අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව ‘කාශ්මීර ඒකාබද්ධ මහජන ක්‍රියාකාරී කමිටුව’ විසින් මෙම දීර්ඝ විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබුණා .
මුසාෆරබාද් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක පැවැති විරෝධතා මර්දනය කිරීම සඳහා පාකිස්ථාන රජය විසින් අර්ධ සන්නද්ධ පොලිස් බලඇණි කැඳවීමට පියවර ගත් අතර, එහිදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ වෙඩි හුවමාරු සහ කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් තත්ත්වය අතිශය දරුණු අතට හැරුණා.
ගැටුම්වලින් පොලිස් නිලධාරියෙකු ද ඇතුළුව පුද්ගලයන් 09 දෙනෙකු මියයාමත් සමඟ කලාපය පුරා දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හටගත් අතර, ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවාවන් ද රජය විසින් තහනම් කරනු ලැබුවා.
පවතින මාරාන්තික තත්ත්වය සමනය කිරීම සඳහා පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කාශ්මීර කලාපය වෙනුවෙන් රුපියල් බිලියන 23ක (ඇමරිකානු ඩොලර් මිලියන 82ක) විශේෂ සහනාධාර පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා .
මෙමඟින් තිරිඟු පිටි මිල ගණන් සහ විදුලි ගාස්තු සැලකිය යුතු මට්ටමකින් පහත හෙළීමට රජය එකඟ වී තිබෙනවා.
රජයේ මෙම ලිහිල් ප්‍රතිපත්තිය සහ ඉල්ලීම් ඉටුකිරීමට දුන් පොරොන්දු හේතුවෙන් විරෝධතාකරුවන් සිය පාගමන් තාවකාලිකව නතර කිරීමට එකඟ වී ඇති නමුත්, මියගිය සිවිල් වැසියන් වෙනුවෙන් සාධාරණය ඉටුනොවන්නේ නම් නැවත වරක් දැවැන්ත අරගලයකට අවතීර්ණ වන බව JAAC සංවිධානය අනතුරු අඟවා සිටිනවා.













