තුර්කිය විසින් නිෂ්පාදනය කරන ලද ‘ඇට්මාකා’ නාවික නාශක මිසයිල පද්ධතිය මඟින් ඒජියන් මුහුදු කලාපයේ එල්ල වී ඇති තර්ජනවලට ශක්තිමත් පිළිතුරක් ලබාදීම සඳහා, ඉන්දියාව සතු නවීනතම දිගුදුර කෲස් මිසයිල මිලදී ගැනීමට ග්‍රීසිය දැඩි අවධානයක් යොමු කර ඇති බව ‘ග්‍රීක් සිටි ටයිම්ස්’ පුවත්පත වාර්තා කරනවා.
මිලිටරි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ තුර්කිය සතු ඇට්මාකා මිසයිලවලට කිලෝමීටර් 280ක පමණ දුරක් විදීමේ හැකියාව පවතින බැවින්, ග්‍රීක නාවික හමුදාවේ ආරක්ෂාවට ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.
මේ සඳහා ආරක්ෂක උපාය මාර්ගයක් ලෙස ග්‍රීසිය, ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය විසින් නිපදවා ඇති, කිලෝමීටර් 1,000කට වඩා වැඩි දුරක් විදීමේ හැකියාව සහිත නව දිගුදුර ගොඩබිම් ප්‍රහාරක කෲස් මිසයිල කෙරෙහි උනන්දුවක් දක්වනවා.
මෙම මිසයිල පද්ධතිය හරහා ග්‍රීසියට ඒජියන් මුහුදේ ආරක්ෂාව තහවුරු කිරීමට පමණක් නොව, තුර්කියේ ප්‍රධාන මිලිටරි මූලස්ථාන වෙත පවා ගොඩබිම සිට ක්ෂණික ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ලැබෙනු ඇති.
මීට පෙර ඉන්දියාව සහ පිලිපීනය අතර ඇති වූ ‘බ්‍රහ්මෝස්’ මිසයිල ගනුදෙනුවෙන් පසුව, යුරෝපීය රටක් ඉන්දියානු මිසයිල තාක්ෂණය ලබාගැනීමට උත්සාහ කරන පළමු අවස්ථාව මෙය වනවා.
මේ වන විටත් ග්‍රීසිය සහ ඉන්දියාව අතර ආරක්ෂක සබඳතා ඉහළ මට්ටමක පවතින අතර, මෙම මිසයිල ගනුදෙනුව සාර්ථක වුවහොත් එය මධ්‍යධරණී කලාපයේ පවතින මිලිටරි බල තුලනය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හේතු වනු ඇතැයි විදේශීය ආරක්ෂක අංශ අනාවැකි පළ කරනවා.













