ලෝක දේශපාලනික නොසන්සුන්තාව සහ බටහිර ආසියානු කලාපයේ පවතින යුද ගැටුම් මධ්‍යයේ වුවද, ඉන්දියානු ආර්ථිකය 2026 වසරේ ජනවාරි-මාර්තු කාර්තුව තුළ 7.8%ක ඉහළ වර්ධන වේගයක් වාර්තා කිරීමට සමත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
ඉන්දීය ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (NSO) විසින් නිකුත් කරන ලද නවතම දත්ත මඟින් මේ බව තහවුරු කරනවා.
ආර්ථික විද්‍යාඥයන් මීට පෙර පුරෝකථනය කර තිබූ 7.2%ක වර්ධන මට්ටම අභිබවා යමින් ඉන්දියාව මෙම ප්‍රගතිය අත්කරගෙන තිබෙනවා.
කෘෂිකාර්මික අංශයේ ඉහළ යාම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිදු වූ කැපී පෙනෙන පිබිදීම මෙන්ම සේවා අංශයේ වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇති බව වාර්තාවල සඳහන්.
මේ සමඟින්, 2026 මාර්තු මාසයෙන් අවසන් වූ සම්පූර්ණ මුදල් වර්ෂය සඳහා ඉන්දියාවේ දදේනි (GDP) වර්ධනය 7.7%ක් ලෙස සටහන් වනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ මෙම ප්‍රතිඵල මඟින් ඉන්දීය ආර්ථිකයේ පවතින සහජ ශක්තිය සහ ක්‍රියාවට නංවන ලද ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය මනාව පිළිඹිබු වන බවයි.
කෙසේ වෙතත්, ඉදිරි කාලයේදී පවතින භූ-දේශපාලනික බලපෑම්, ඉහළ යන බලශක්ති පිරිවැය සහ ‘එල් නිනෝ’ (El Nino) දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති විය හැකි දුර්වල මෝසම් වැසි තත්ත්වයන් ඉදිරි වසරේ ආර්ථික වර්ධනය කෙරෙහි අභියෝග එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවනවා.
මේ හේතුවෙන් ඉදිරි මුදල් වර්ෂයේදී ඉන්දියාවේ වර්ධන වේගය 6.6% දක්වා මඳක් මන්දගාමී විය හැකි බවට ඉන්දීය මහ බැංකුව (RBI) ද ඇස්තමේන්තු කර තිබෙනවා.













