වනවාසල දුම්රිය ස්ථානයට ආසන්නේ අද (16) අලුයම දුම්රියක් පීලි පැන පෙරළීමෙන් ඇතිවූ අනතුර සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශය සහක් සංඥා අංශය මඟින් අද (16) පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර සිදුවූ අනතුර සම්බන්ධයෙන් අනතුරට ලක් වූ දුම්රියේ රියදුරාගෙන් සහ නියාමකවරයාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි වාර්තා වුණේ.
එමෙන්ම දුම්රිය අනතුරට ලක් වූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇණ සහ කොටස් ගැලවූ පුද්ගලයෙක් සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළා.
මේ අතර පොලීසිය විසින් අනතුර සිදු වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් ද පොලිස් නිලධාරීන් සහ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදුකර තිබෙනවා.













