මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාවක් පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද (14) ප්‍රතික්ෂේප කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ කුමන්ත්‍රණය නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පදනම් විරහිත බවයි.
ඒ අනුව එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බවකී විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව අදාළ චෝදනාව පවත්වාගෙන යාමට බාධාවක් නැති බවත් සඳහන් කළා.
ඉන් අනතුරුව විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාට විවෘත අධිකරණයේ දී චෝදනා පත්‍ර කියවාදීම සිදුකෙරුණා.
එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කළා.
ඒ අනුව නඩු විභාගය ආරම්භ කරන ලෙස විනිසුරුවරයා නියෝග කළා.













