අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අයත් කුඹුරු ඉඩම් අක්කර 11,500කට පමණ යල සහ මහ දෙකන්නයේම වගා කිරීම සඳහා ජලය ලබාදීමේ අරමුණින් ඝන මීටර මිලියන 169ක ධාරිතාවකින් යුතු යාන් ඔය ජලාශය ඉදිකරනු ලැබුවා.
එකී ජලාශය ඉදිකිරීමේ දී අත්කර ගනු ලැබූ ඉඩම් සඳහා වන්දි ගෙවීමේ කටයුතු රජයේ තක්සේරුව අනුව සිදු කරනවා.
ඒ අනුව එම ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරු ඉඩම් අහිමි වූ පවුල් සඳහා විකල්ප කුඹුරු ඉඩම් කට්ටි 313 ක් ලබා දී තිබෙනවා.
එමෙන්ම, තෝරාගත් පවුල් 614ක් සඳහා විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට අතිරේක වන්දි මුදල් ලබා දීමට 2024 වසරේ මාර්තු මස 18 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් විසින් අතිරේක වන්දි මුදල් ලැබීමට සුදුසු පවුල් 540ක් හඳුනාගෙන ඔවුන් සඳහා වන්දි මුදල් ලබා දී ඇති බව කැබිනට් තීරණ පත්‍රිකාවේ සඳහන්.
විකල්ප කුඹුරු ඉඩමක් ලබා දීමට හැකියාවක් නොමැති බැවින් අතිරේක වන්දි මුදල් ලැබීම සඳහා හිමිකම් ලබන තවත් පවුල් 245ක් හඳුනාගෙන තිබෙනවා.
රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් වාරි ජලය මඟින් යල සහ මහ දෙකන්නය වගා කරන කුඹුරු ඉඩම් අක්කර එකහමාරක (1 1/2) වටිනාකම රුපියල් 1,800,000/-ක් වශයෙන් ඇස්තමේන්තුගත කර තිබෙනවා.
ඒ අනුව, තවදුරටත් හඳුනාගනු ලැබ ඇති පවුල් 245 සඳහා එක් පවුලකට රුපියල් 1,800,000/- බැගින් අතිරේක වන්දි මුදලක් ගෙවීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.













