තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23 දෙනා ලබන 26 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
එම චීවරධාරීන් පිරිස අද (12) මීගමුව මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
චීවරධාරීන් 22 දෙදෙනෙක් පසුගිය අප්‍රේල් 25 වනදා කටුනායක ගුවන් තොටුපොළේ දී කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් වූ අතර, එහිදී ඔවුන් රැගෙන ආ ගමන් මළුවල සඟවා තිබී කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සොයා ගැනුණා.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිවුණේ අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවයි.
ඒ, අනුව පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමක දී අමිතානන්ද නම් චීවරධාරියාද ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටිය දී අත්අඩංගුවට ගැනුණා.
එමෙන්ම මෙම පිරිස මෙහෙය වූ බව කියන මින්පෙර අවස්ථාවවලදී ද මත්ද්‍රව්‍ය මෙරටට ගෙන එම සඳහා ඊට ආධාර අනුබලදුන් මහමුද් මොහොමඩ් නැමති පුද්ගලයකු කොළඹ ප්‍රදේශයේ දී ඉකුත් 08 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉකුත් 09 වනදා ඉදිරිපත් කළ අතර, 14 වැනිදා දක්වා තවදුරටත් රඳවා ප්‍රශ්න කරන ලෙසද මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
සැකකරුවන් පිරිස දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර බන්ධනාගාර නිලධාරීන් විසින් මෙහි ප්‍රධාන සැකකාර අමිතානන්ද නම් චීවරධාරියා සහ සෙසු චීවරධාරීන් විසිදෙදෙනා අද (12) පෙරවරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
අනතුරුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය හමුවේ නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පැමිණ සිටියේ නැහැ.
එහිදී එම නිලධාරීන් පැමිණෙන තුරු එම නීති කෘත්‍ය ආරම්භ කිරිම හතර වාරයක් කල් තැබුවා.
එහිදි වෙනත් නඩු සඳහා පැමිණ සිටි මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ නිලධාරීන්ට කියා සිටියේ මෙම නඩු සඳහා පැමිණෙන නිලධාරීන් ප්‍රමාද වීමට හේතුව සොයා බලන ලෙසයි.
එහිදී එම නිලධාරීන් සඳහන් කළේ අදාළ නිලධාරීන් තවමත් අධිකරණයට පැමිනෙමින් සිටින බවයි.
11.30 වන තුරු අදාළ නිලධාරීන් අධිකරණයට නොපැමිණි නිසා නඩු විභාගය ආරම්භ කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා.
නඩු 22ක් ඇති බැවින් පළමු නඩුව ආරම්භ කළ අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිල්වා මහතා, උප පොලිස් පරික්ෂක රාජපක්ෂ , කාන්තා උප පොලිස් පරික්ෂක ලක්මාලි යන අය ලබන 26 වනදා අධිකරණයට පැමිණ විවෘත අධිකරණයේදී නොපැමිණීමට හේතුව දැක්විය යුතු බවයි.
කේසේ වෙතත් එම නියෝග ලබා දුන් අවස්ථාවේ කාන්තා උප පොලිස් පරික්ෂක ලක්මාලි අධිකරණයට පැමිණියා.
එහිදී මහෙස්ත්‍රාත්වරිය දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් විමසා සිටියේ දැන් වේලාව කියද යැයි කියාය. ඊට පිළිතුරු දෙමින් උප පොලිස් පරික්ෂක ලක්මාලි සඳහන් කළේ 11.45 යැයි කියාය.
එහිදී මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ අධිකරණ කටයුතු 9.00ට පටන් ගන්නා බැවින් මෙසේ ප්‍රමාද වීම අධිකරණය හැල්ලුවට ලක් කිරිමක් බවයි, “මේක සාමාන්‍ය නඩුවක් නෙවෙයි, ඔයලා එනකං අධිකරණයට බලන් ඉන්න බෑ. මේ නඩුව වෙනස් සංවේදී නඩුවක්, මේ නඩුවේ විත්තිකරුවන් දෙස බලන්න. ඒ සාමාන්‍ය අය නෙවෙයි, භික්ෂුන් වහන්සේලා. මං සියලුම නිලධාරීන්ට තරයේ අවවාද කරනවා, සියලුම දෙනා ඉදිරි දිනයේ අධිකරණයට පැමිණි හේතු දැක්විය යුතුයි මේ සම්බන්ධයෙන්”යැයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළා.
එහිදී අධිකරණයට කාන්තා උප පොලිස් පරීක්ෂක ලක්මාලි වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම්කරුවන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
“ස්වාමිනි, මේ සියලුම ස්වාමින් වහන්සේලාව එකතු කරලා තියෙන්නේ පූජ්‍ය අගුණුකොළ අමිතානන්ද හිමි විසින් මෙහෙයවා තිබෙන වට්ස් ඇප් සමුහයක් ( Whatsapp Group): හරහායි. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා මේ සියලුම දෙනාගේ ජංගම දුරකථන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නා. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ එම ගමන් මළු රස පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළා. තායිලන්තයේදි ධම්මා නමින් හැදින්වුණු බේල්පිටියේ ධම්මරක්කිත නැමැති පැවිදි නමක් මේ ස්වාමින් වහන්සේලා රැගෙන ගිහින් නවාතැන් පහසුකම් සඳහා ඊට අවශ්‍ය හෝටල් සපයා තිබෙනවා. මේ හාමුදුරුවරු තායිලන්තයේ දි සිවිල් ඇඳුමින් සැරසි සාප්පු සවාරියේ යෙදිලා තියනවා. ඒ වගේම මේ හාමුදුරුවන් සම්බන්ධයෙන් කළ මත්ද්‍රව්‍ය පරීක්ෂනයේදි හාමුදුරුවෝ 22න් 21 ම එම මත්ද්‍රව්‍ය පරික්ෂණය සමත් වෙලා තියනවා. ඒ අනුව ඔවුන් කැනබීස් නැමති මත්ද්‍රව්‍ය (ගංජා සහ කුෂ් ) ශරිර ගතව ඇති බව එම වාර්තා වල දැක්වෙනවා.
අප්‍රේල් 25 වැනිදා මේ ස්වාමින් වහන්සේලා යළි දිවයිනට එද්දි රැගෙන එන්න මත්ද්‍රව්‍ය සහිත ගමන්මළු රැගෙන යාමට පැමිණිමට සූදානමව සිටි පුද්ගලයන් දෙදෙනෙකු හඳුනා ගත්තා. ඉන් එක් පුද්ගලයෙකු එනම් මහමුද් මෙහොමඩ් නැමැත්තා 08 වැනිදා අත්අඩංගුවට ගත්තා, 09 අධිකරණයට ඉදිරිපත් කරා,14 දක්වා රැඳවුම් නියෝග ලබා ගෙන තියෙනවා, ඒ පුද්ගලයා මෙම නඩුවේ හයවන සැකකරු ලෙස නම් කිරිමට අවසර ඉල්ලනවා, එමෙන්ම අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින මොහොමඩ් මුසිම් අබ්දුල්ලා නැමති සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරනවා. ඒ පුද්ගලයා නඩුවේ හත්වන සැකකරු ලෙස නම් කිරිමටත්, පුජ්‍ය රනාලේ ඥානසීල හිමි අටවන සැකකරු ලෙස නම කිරීමටත් අවසර ඉල්ලා සිටිනවා. චන්ද්‍රකුමාර නැමැති පුද්ගලයා මේ අවස්ථාවේ අධිකරණයට ඉදිරිපත් කර නොමැති හෙයින් ඉදිරි දිනයේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය නියෝග කරන ලෙසද ඉල්ලා සිටිනවා.”
මෙහිදී සැකකාර ස්වාමින් වහන්සේ වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරුන් කියා සිටියේ සිය සේවාදායකයන්ට එරෙහිව වෙන් වෙන්ව සාක්ෂි සම්පිණ්ඩන වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත්, නඩු භාණ්ඩ ලෙස අම්තානන්ද හිමිට ඉදිරිපත් කිරීමට කිසිවක් නැති හෙයින් ඒ පිළිබඳව අවධානය යොමු කර ලෙසයි.
එමෙන්ම ඔවුන්ගේ ජංගම දුරකථනයවල තිබු පුද්ගලික ඡායාරූප මාධ්‍යවේදීන්ට සහ සමාජ මාධ්‍ය වෙත මුදා හැරිම සම්බන්ධයෙන් ද ගැටලුවක් ඇති බව සඳහන් කළා.
එහිදී මහෙස්ත්‍රාත්වරිය නිලධාරීන්ගෙන් විමසා සිටියේ අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබා දුන්නාද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් නිලධාරීන් සඳහන් කළේ මේ වන විට එම ජංගම දුරකථන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලන බවයි.
ඒ, අනුව එම තිදෙනා වෙන් වෙන් වශයෙන් පවරා ඇති නඩු 22කට සැකකරුවන් 8 දෙනෙකු ලෙස නම් කෙරිණි .
ඒ, අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය එළැඹෙන මැයි මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.
එමෙන්ම අඹගස්මුල්ලේ පුන්‍යරතනට සහ බෙල්පිටියේ ධම්මරක්කිත යන හිමිවරුන් දෙදෙනාට ගුවන් ගමන් තහනමක් පනවනු ලැබුවා.
දැනට රැඳවුම් නියෝග ලබා සිටින මහමුද් මොහොමඩ් නැමති විත්තිකරු ද 14 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, ලබන 26 වනදා චන්ද්‍රකුමාර නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාර අධිකාරිවරයාටද එහිදී නියෝගයක් නිකුත් කෙරුණා.













