ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන, සාම සාධක කටයුතු සහ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා නැගෙනහිර යුරෝපය, ඇමරිකාව, ආසියාව සහ පැසිෆික් කලාපය භාර සහකාර මහලේකම් කලීඩ් කියරි අතර හමුවක් සිදුව තිබෙනවා.
ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිදුකරන සිය නිල සංචාරය අතරතුර පෙරේදා (22) මෙම හමුව සිදුවූ බවයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජයන්ත ජයසූරිය ඇතුළු පිරිසක් ද ශ්‍රී ලංකා දූත පිරිස සමඟ මෙම හමුවට එක්ව සිටියා.
මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා යෝජිත හමුදා කණ්ඩායම් අනුයුක්ත කිරීමට අදාළව ගනු ලබන පූර්ව සූදානම් කිරීමේ පියවර පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.
මෙහෙයුම් සඳහා තෝරාගනු ලබන සියලුම හමුදා සාමාජිකයන් මානව හිමිකම් නිදර්ශන විමර්ශන ප්‍රතිපත්තිය (HRDDP), ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය (IHRL) පිළිබඳ පුළුල් හා ව්‍යුහාත්මක පුහුණුවක් ලබාගන්නා බව එහිදී අවධාරණය කෙරුණා.
එක්සත් ජාතීන්ගේ අවශ්‍යතාවන්ට අනුකූල වීම සහ මෙහෙයුම් පරිසරයන් තුළ වෘත්තීයමයභාවය තහවුරු කරමින් මෙම පුහුණු වැඩසටහන් සැලසුම් කර තිබෙනවා.
මෙම පුහුණු වැඩසටහන්වලට අදාළ අදියර තුළ, අදාළ ප්‍රමිතීන් සහ සම්මතයන් උල්ලංඝනය කිරීමේ ඕනෑම ක්‍රියාවක ප්‍රතිඵල පිළිබඳව පැහැදිලි මඟපෙන්වීමක් ඇතුළත් වන බව ද දූත පිරිස විසින් වැඩිදුරටත් පෙන්වා දුන්නා.
වාර්තා කිරීම සහ චෝදනා විමර්ශනය කිරීමේ ක්‍රියා පටිපාටි මෙන්ම, නිසි බලධාරීන් විසින් වරදකරුවන් කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු වගවීම තහවුරු කිරීමේ ශක්තිමත් යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වන බව ද ඔවුහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
තවද, මේ සම්බන්ධයෙන් ජාතික විමර්ශන නිලධාරියාගේ කාර්යභාරය ද මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරුණා.













