ලංවිම තුළ හිමිවූ සියලු සේවක අයිතිවාසිකම් ඒ අයුරින්ම නව සමාගම් තුළත් තහවුරු කරනවා – ජනපති

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ සියලු ගැටලුවලට හැකි ඉක්මණින් විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාව බවත්, එතෙක් සියලු පාර්ශ්වයන් මනා අවබෝධයෙන් කටයුතු කරමින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට රජයට සහාය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්.

ලංකා විදුලි බල මණ්ඩලය තුළ හිමිවු සියලු සේවක අයිතිවාසිකම් ඒ අයුරින්ම නව සමාගම් තුළ තහවුරු කිරීමත්, සමාගම් යටතේ සේවක අයිතින් සුරක්ෂිත කිරීමත් රජයේ ස්ථාවරය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම අන්තර්කාලීන අවස්ථාවේ අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් සිය දායකත්වය ලබා දෙන ලෙස එහි සියලු වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කළා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර සේවක ගැටලු විසඳීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමටත් අවධානය යොමු කෙරුණා.

මැද පෙරදිග යුදමය තත්ත්වය සහ ඊට මුහුණ දීමේදී මතු වී ඇති අභියෝග පිළිබඳ තමන්ට අවබෝධයක් ඇති බවත්, මෙම අවස්ථාවේ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ සහ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් මෙහිදී පෙන්වා දුන් වෘත්තිය සමිති නියෝජිතයෝ මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වඩා නිවැරදිව ඉටු කර ගැනීමට සිය දායක්තවය ලබා දෙන බව ප්‍රකාශ කළා.

මෙම ක්‍රියාවලියේදී තමන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලු දෙකක් ලෙස නව සමාගම් තුළ නිසි පත්වීම් ලිපියක් ලබා ගැනීම සහ සාමුහික ගිවිසුමක අවශ්‍යතාව පෙන්වා දුන් වෘත්තිය සමිති නියෝජිතයන් පසුගියදා බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත්, ජනාධිපතිවරයාගේ මැදිහත්වීමද ඊට අපේක්ෂා කරන බවත් සඳහන් කර සිටියා.

එමෙන්ම, මේ වන විටත් නව සමාගම් සහ සේවකයන් අතර සාමුහික ගිවිසුමක් සකස් කර තිබෙන අතර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි එය හැකි ඉක්මණින් කැබිනට් මණ්ඩලයේ අනුමත කර ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා වුණා.

සාමුහික ගිවිසුමකට එළැබීමේදි සහ පැරණි නොවිසඳුණු ප්‍රශ්න විසඳා ගැනීමේදී වෘත්තීය සමිති සහ පාලන අධිකාරිය එකඟතාවෙන් යුතුව අතරමැදි ස්ථානයක සිට කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිළි කළා.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමේ අරමුණු පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ රජයේ ඉදිරි සියලු ආර්ථික සැලසුම් පුර්ණ ලෙස බලශක්තිය මත තීරණය කෙරෙන බවයි.

එබැවින් මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටසක් බවට බලශක්තිය පත්වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම අභියෝගයට මුහුණදීම සඳහා බලශක්ති ක්ෂේත්‍රය සුදානම් කිරීමේදි ශක්තිමත් ආයතනික ව්‍යුහයක අවශ්‍යතාව මතුව තිබෙන බව පෙන්වා දුන්නා.

විදුලිබල මණ්ඩලය සතුව ඇති දත්ත පිළිබඳ තිබෙන අවිනිශ්චිතතාව හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයද මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා විධිමත් දත්ත පද්ධතියක් මෙන්ම මෙවැනි ක්ෂේත්‍රයක පවත්වාගෙන යා යුතු ඉහළ මූල්‍ය විනය ඇති කිරීම පිළිබඳවද මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී අවධානය යොමු කෙරුණු බව පෙන්වා දුන්නා.

එමෙන්ම ඉලක්ක සහගත ලෙස සේවක කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

විශේෂයෙන් පසුගිය දිට්වා සුළි කුණාටුව ඇතුළු සියලු හදිසි අවස්ථාවලදී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් සිදු කළ කැපවීම මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විශේෂ ඇගයීමට ලක් වුණා.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11