තිරසාර ආයෝජන අවස්ථා පුළුල් කරමින් ස්ථාවර, විනිවිදභාවයකින් යුතු ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනගන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
2026 පෙබරවාරි 13 වන දින කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ CEO’s Pearl of the Indian Ocean: Sri Lanka වැඩසටහනට සමගාමීව පැවති සැසියකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංවිධානයේ (CEO) සාමාජිකයින් ආමන්ත්‍රණය කරමින් මේ බව පවසා සිටියා.
ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංවිධානය (CEO), රටවල් 60 කට වඩා වැඩි විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන් නියෝජනය කරන ගෝලීය ව්‍යාපාරිකයින්ගේ ජාලයකින් සමන්විත වන සංවිධානයක්.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ,
”ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ව්‍යුහාත්මක පරිවර්තනයක් මෙන්ම විනිවිදභාවයෙන් යුතු සියල්ල ඇතුළත් වර්ධනයක් මත සිදුවන්නක්.
සියලු දෙනාටම අධ්‍යාපනයට ප්‍රවේශ වීමට අවස්ථාව වගේම ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට අපි කැපවී සිටිනවා. මෙම ප්‍රතිසංස්කරණ හරහා තරුණයින්ට සාමාන්‍ය අධ්‍යාපනය ක්‍රමයෙන් ඔබ්බට ගොස් නව මාර්ග නිර්මාණය කරනවා වගේම අනාගත ලෝකය සඳහා කුසලතා සහ නම්‍යශීලී ශ්‍රම බලකායක් ගොඩනගනවා. ඒ සඳහා විභාග පසුපස යන ක්‍රමවේදයෙන් බැහැරව, ශිෂ්‍යයින් කේන්ද්‍ර කරගත් පද්ධතියක් ගොඩ නැගීමට රජය අධ්‍යාපනික වෙනසක් සිදු කරමින් සිටිනවා.
“වගවීම, ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම දූෂණයෙන් තොර පාලනයක් සඳහා ජනතාව අපට ජනවරමක් ලබා දුන්නා. ශ්‍රී ලංකාව ස්ථාවර වෙමින් පවතිනවා. අපි ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබෙනවා, විශ්වාසය නැවත ඇති කරලා තිබෙනවා, වගේම මෙය ඉදිරියටත් මෙලෙසම ගෙන යාමට අපි කැපවී සිටිනවා.මෙම ක්‍රියාවලිය කෙටි කාලීන ක්‍රියාවලියක් නොවේ, එය දිගුකාලීන ක්‍රියාවලියක්.
ආයෝජන අවස්ථා ශක්තිමත් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අදහස් දක්වනු ලැබුවා,
“පුරෝකථනය, ආයෝජකයින්ගේ විශ්වාසය ගොඩ නැගීම සහ ආයතනික විනිවිදභාවය ශක්තිමත් කිරීමට ව්‍යවස්ථාදායක සහ නියාමන රාමු ජාත්‍යන්තර ප්‍රමිතීන් සමඟ ගොඩ නගා තිබෙනවා. තිරසාර ආයෝජනයන් සඳහා විශ්වාසය අවශ්‍ය වනවා වගේම විශ්වාසය ගොඩ නැගීමට ප්‍රතිසංස්කරණ අවශ්‍ය වනවා.
දේශගුණික විපර්යාසයන් කියන්නේ අලුත් දෙයක් නොවේ. අපට එදිනෙදා මුහුණ දීමට සිදුවන දෙයක්. ඔරොත්තු දීමේ හැකියාව, ආපදා අවම කිරීම සඳහා පද්ධති ශක්තිමත් කිරීම සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන ගමන් අපි නැවත නැගී සිටිනවා.
ශ්‍රී ලංකාව ඉන්දු-පැසිෆික් කලාපයේ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස සලකන ලෙස ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංවිධානයේ සාමාජිකයින්ට මම ආරාධනා කරනවා. ඛනිජ අපනයන, සැපයුම් සහ නාවුක මෙහෙයුම්, කෘෂි සැකසුම්, පුනර්ජනනීය බලශක්තිය, ඖෂධ සහ නවෝත්පාදනය මත පදනම් වූ අංශ සඳහා පවතින අවස්ථා අවධාරණය කළ අග්‍රාමිත්‍යතුමිය විනිවිදභාවය, තිරසාරභාවය සහ සියල්ල ඇතුළත් සංවර්ධනයක් සඳහා දිගුකාලීන හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමට රජය සූදානම්” බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
තිරසාර ආර්ථික සංවර්ධනයක් සඳහා අත්‍යවශ්‍ය කුළුණු ලෙස අධ්‍යාපනය, පර්යේෂණ, වෘත්තීය පුහුණුව සහ නවෝත්පාදනයන්හි සහයෝගීතාවය අග්‍රාමාත්‍යවරිය තවදුරටත් එහිදී අවධාරණය කළා.
2026 වැඩසටහනෙහි අංගයක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව පළ කළ අග්‍රාමාත්‍යවරිය, ගෝලීය ආයෝජකයින් සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වීම සඳහා රජයේ සූදානම නැවත තහවුරු කළා.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහභාගී වුණා.



