පොලිස් පෙම්වතිය ඝාතනය කළ කොස්තාපල් පෙම්වතාට මරණ දඬුවම

පොලිස් කොස්තාපල්වරියක වූ සිය තරුණ පෙම්වතියගේ ගෙල කපා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ගොනු කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔප්පුකොට ඇති බවත්, මරණකාරියගේ ශරීරයේ තිබූ බරපතළ කැපුම් තුවාල ඇතුළු කැපුම් තුවාල 47කට අධික ප්‍රමාණය අනුව විත්තිකරු එකී ඝාතනය හිතාමතාම හා සැලසුම් සහිතව සිදුකළ බවට සනාථ වන්නේ යැයි පෙන්වා දුන් විනිසුරුවරයා එම දඬුවම නියම කළා.

අධිකරණය හමුවේ දී විත්තිය වෙනුවෙන් සාක්ෂි දීමෙන් අනතුරුව වසර ගණනාවක් තිස්සේ අධිකරණය මඟහැර සිටින විත්තිකරු අත්අඩංගුවට ගැනීමටද මහාධිකරණ විනිසුරුවරයා වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

මෙයට වසර 12කට පමණ පෙර එනම් 2013.01.07 වනදා කොළඹ පිටකොටුව ලෝටස් පාරේ ලංකා ටෙලිකොම් සංස්ථාව ඉදිරිපිට පිහිටි ගුවන් පාලම මත දී හේරත් මුදියන්සේලාගේ නදිශානි මධුභාෂිකා සමරසිංහ නමැති 23 හැවිරිදි තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ ජයසිංහ මුදියන්සේලාගේ නිලන්ත පුෂ්පකුමාර නැමැති විත්තිකරුට එලෙස මරණීය දණ්ඩනය නියම කෙරුනා.

එවකට කොළඹ ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයකට අනුයුක්තව සේවය කළ මරණකාරිය එම ගුවන් පාලම මතින් ගමන් කරන බවට දන්නා විත්තිකරු එදින ගුවන් පාලම මත රැක සිටිය දී පෙරවරු 7.10ට පමණ ඇය හමු වූ අවස්ථාවේදී ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව සිය මල්ලේ සඟවාගෙන තිබූ මන්නා පිහියක් රැගෙන ඇගේ ගෙල වෙන්වන ලෙස පිහි ප්‍රහාරයක් එල්ල කර තිබූ බවත්, අනතුරුව ඇගේ මුහුණ, පපුව ඇතුළු ශරීරයේ සියලු කොටස් කපා තමන් සන්තකයේ තිබූ වස කුප්පියක් ගෙන ඇගේ මුවට හලා ඉතුරු කොටස පානය කොට තිබූ බව ඇසින් දුටු සාක්ෂි අනුව අනාවරණය වී තිබුණා.

පිහිය පෙන්වා කිසිවෙකුටත් අසලට නොඑන ලෙසට තර්ජනය කර එකී අපරාධය සිදුකොට තිබූ එම විත්තිකරු සහ මරණකාරිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී එකට පුහුණුව ලබා 2009 වසරේදී කොස්ලන්ද පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන තිබූ බවත්, මරණකාරිය රාජකාරි නිවාඩු ලබා බිබිල ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවෙසට යන අවස්ථාවලදී විත්තිකරු ද ඇය සමඟ එම නිවෙසට ගොස් ඇති බවත් සාක්ෂි විභාගයේදී අනාවරණය වී තිබුණා.

දෙපාර්ශ්වයේ වැඩිහිටියන්ගේ එකඟතාව ඇතිව විවාහ වීමේ අරමුණින් එම සබඳතාව දිගටම පවත්වාගෙන ගොස් තිබූ බවත් විවාහයෙන් පසුව පදිංචිය සඳහා ඔවුන් දෙදෙනා එක්ව බිබිල ප්‍රදේශයෙන් පර්චස් 43ක ඉඩම් කොටසක් මිලදී ගෙන තිබූ බවටයි දෙපාර්ශ්වයේ සාක්ෂි විභාගයේදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ නමුත් විවාහ පොරොන්දම් නොගැළපීම හා විත්තිකරු යහපත් චරිතයකින් යුත් පුද්ගලයෙකු නොවන බවට අනාවරණය වූ කරුණු මත එකී විවාහයට මරණකාරියගේ මව අකැමැත්ත දැක්වීම නිසා එකී අපරාධය සිදුකිරීමට දින කිහිපයකට පෙර විත්තිකරු මන්නා පිහියක් හා වස කුප්පියක් රැගෙන මරණකාරියගේ නිවසට ගොස් ඇගේ මවට යම් බලපෑමක් කළ බව ද අනාවරණය වී තිබුණා.

මරණකාරියගේ නිවසට ගොස් ඇගේ මව සමඟ තමුන් දෙදෙනාගේ විවාහය පිළිබඳ කතාබහ කළ බව හා ගුවන් පාලම මතදී මරණකාරිය හමු වූ බව සත්‍යක් වන නමුත් එහිදී ඇය පැවැසූ වදන් නිසා ශෝකයට පත් තමා වස පානය කර සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ බවත් මරණකාරියට එකී කැපුම් තුවාල සිදු වූ ආකාරය තමන් නොදන්නා බවත් විත්තිකරු සිය නීතිඥවරුන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදී ඇත්තේ.

කෙසේ නමුත් විත්තිකරුගේ එකී ප්‍රකාශය දඬුවමින් ගැලවීමේ අරමුණින් සිදුකළ එකක් බවට අධිකරණය සිය තීන්දුව මගින් පෙන්වා දී තිබුණේ.

මරණකාරිය අධ්‍යාපන කටයුතුවලට විශේෂ දක්ෂතාවක් දැක්වූ අයෙකු වුවත් විශ්වවිද්‍යාලයට ඇතුළත් නොවී පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණේ උසස් අධ්‍යාපනය ලබන බාල සහෝදරියගේ හා සහෝදරයාගේ වගකීම මෙන් ම පියා අහිමි පවුලේ නඩත්තුව පිළිබඳ වගකීම සිය කැමැත්තෙන්ම භාරගෙන බව මෙන් ම පොලිස් දෙපාර්තමේන්තුවට බැඳීමට පෙර කුලියට ගඩොල් කැපීම පවා සිදුකර සිය මව ඇතුළු සහෝදරයන් දෙදෙනාගේ කුසගින්න නිවීමට ඇය උත්සාහ දැරූ බව ත් නඩු විභාගයේදී අනාවරණය වුණා.

නීතිඥ ප්‍රදීප් ජයකොඩි අගතියට පත් පර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිමින් මූලික විමර්ශන කළ කොටුව පොලිසිය එකී විත්තිකරුට අධිකරණය විසින් ඇප ලබාදෙන අවස්ථාවේදී විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට නිසි පියවර නොගැනීම නිසා විත්තිකරුට අධිකරණය මඟහැර පලායෑමට ඉඩකඩ විවර වූ බවද පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
1
+1
0
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?