එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පාකිස්තාන කණ්ඩායම සහභාගී වනවාද නැද්ද යන තීරණය පෙබරවාරි 02 වනදාට පෙර ප්‍රකාශ කරන බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති මොහ්සික් නක්වි පවසනවා.
සභොපතිවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා ඇති අතර, ඔහු පවසන්නේ ඊයේ (26) දිනයේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශෙහ්බාස් ශරීෆ් හමුවී පවතින තත්ත්වය පිළිබඳව ඔහුව දැනුම්වත් කළ බවයි.
සියලු විකල්ප මේසය මත තබා ගනිමින් පවතින ගැටළු විසඳා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දුන් බවයි ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.
ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පාකිස්තාන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පෙරේදා (25) දිනයේ ප්‍රකාශයට පත් කළා.
කෙසේ වෙතත් ඔවුන් එහිදී තරගාවලියට පැමිණෙන බවට නිශ්චිත දැනුම්දීමක් සිදුකළේ නැහැ.
එහිදී තේරීම් කමිටු ප්‍රධානී ආකිබ් ජාවෙඩ් සඳහන් කළේ, තම කණ්ඩායම තරගාවලියට සහභාගී වීම පිළිබඳ අවසන් තීරණය පාකිස්තාන රජය විසින් ගනු ඇති බවයි.
2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පාකිස්තානයේ සහභාගී වීම පිළිබඳ අවිනිශ්චිතතාවය උද්ගත වූයේ, තරගාවලියට ඉන්දියාවේ සංචාරය කිරීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කිරීම නිසා බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීම හේතුවෙන්.




