දිට්වා නිසා මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වූ බවට ගොනු කළ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

දිට්වා සුළි කුනාටුව පිළිබඳව පුරෝකථන නිකුත් කර තිබියදී ඇතිවූ ආපදා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 15 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

මෙම පෙත්සම ඊයේ (16) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අමාත්‍ය මණ්ඩලය ඇතුළු වග උත්තරකරුවන් කිහිප දෙනෙකු වෙත නොතීසි ලැබී නොමැති බව සඳහන් කළා.

ඒ අනුව අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරන කමිටුව ඇතුළු වගඋත්තරකරුවන් කීප දෙනෙකුට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියෝග කළා.

මෙහිදී පෙත්සංකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල කාලසීමාවේ වැසි තත්ත්වය වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් මස 12 වැනිදා සිට පුරෝකථන ඉදිරිපත් කර තිබූ බව සඳහන් කළා.

ඉකුත් නොවැම්බර් 27 වැනි දා පෙරවරුවේ වැසි තත්ත්වය පැහැදිලිව වර්ධනය වී තිබියදී මේ සම්බන්ධයෙන් සැලකිලිමත් නොවී එදින රාත්‍රි 11.10 ට පමණ එක්වරම කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා විශාල ජල කඳක් මුදා හැරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසුදා අලුයම 3.00 පමණ වන විට ගම්පොළ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලය යටවූ බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

ඉන් පසුව ගෙලිඔය, පේරාදෙණිය සහ මහනුවර යන ප්‍රදේශය ක්‍රමානුකූලව ජලයෙන් යටවූ බවයි ඔහු පෙන්වා දුන්නා.

කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරෝකථන ලබාදී තිබියදීත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව කටයුතු කර තිබෙන ආකාරය මේ තුළින් මනාව පැහැදිලි වන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

ඉන් අනතුරුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුලි මස 15 වැනි දා කැඳවන ලෙසත් නියම කළා.

නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ තම නීතිඥ කාර්යාලය මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටා තිබෙන බවත් පසුගිය දිනවල ඇති වූ සුළි කුණාටු හා ගංවතුර තත්ත්වය හේතුවෙන් එම කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූ බවයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සිය පරිගණක පද්ධතියේ තිබූ වැදගත් දත්ත රැසක් විනාශයට පත් වී ඇති බවත් මේ හේතුවෙන් සිය වෘත්තියට දැඩි පාඩුවක් සිදුවී ඇති බවත් ඔහු කියා සිටිනවා.

ආපදා තත්වයක් ඇතිවීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ගේ නොසැලකිලීමත්භාවය හෝ රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් මෙවැනි විනාශකාරී තත්ත්වයක් උද්ගත වූ බවත් ඔවුන් පෙර සූදානමින් කටයුතු කර තිබුණේ නම් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු කියා සිටිනවා.

විශේෂයෙන්ම කොත්මලේ ජලාශයේ ජලය මුදා හැරීමට පෙර ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේ නම් ගම්පොල, ගලහ , පේරාදෙණිය සහ මහනුවර යන ප්‍රදේශවල ජලගැලීම් හේතුවෙන් සිදුවූ දැවැන්ත හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

ඒ අනුව වග උත්තර කරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?