ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර හමුවක් සිදුව තිබෙනවා.
චීනයේ ටියැන්ජින් හි පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සමගාමීව අද (31) දිනයේ රාජ්‍ය නායකයින් දෙදෙනා හමුව ඇති බවයි වාර්තා වුණේ.
ඉන්දියා-චීන සබඳතා “අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ සංවේදීතාව මත පදනම්ව” ඉදිරියට ගෙන යාමට කැපවී සිටින බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා ඇත්තේ.
එමෙන්ම මෙම සාකච්ඡාවකදී අගමැති මෝදි පැවසුවේ, දේශසීමාවේ විසන්ධි වීමෙන් පසු “සාමයේ සහ ස්ථාවරත්වයේ වාතාවරණයක්” නිර්මාණය වී ඇති බවයි.
එමෙන්ම කයිලාෂ් මන්සරෝවර් යාත්‍රාව නැවත ආරම්භ කිරීම සහ දෙරට අතර සෘජු ගුවන් ගමන් පිළිබඳව ද රාජ්‍ය නායකයින් දෙදෙනා අතර මෙහිදී අවදානය යොමුව තිබෙනවා.
ඉන්දියාව සහ චීනය “මිතුරන් සහ හොඳ අසල්වැසියන්” වීම වැදගත් බවයි චීන ජනාධිපති ෂී ජින් පිං මෙහිදී පවසා ඇත්තේ.
මෙය වසර හතකට පසු අගමැති මෝදිගේ පළමු චීන සංචාරය වන අතර, රුසියානු බොරතෙල් මිලදී ගැනීම සඳහා සියයට 25ක තීරුබදු ඇතුළුව ඉන්දියානු භාණ්ඩ සඳහා සියයට 50ක තීරුබදු පැනවීම හේතුවෙන් ඇති වූ ඉන්දු-ඇමරිකානු සබඳතාවල ආතතිය මධ්‍යයේ මෙම සංචාරය සිදුකරනු ලබනවා.





