ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අදාළ ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා විසින් ගොනු කරනු ලැබූ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 07 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළා.
මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (04) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
එහෙත් කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය දැනුම් දුන්නේ එම නියෝගය මේ මස 07 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධියේ පළමු සැකකරු ලෙස පෙත්සම්කාර ඖෂධ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නම්කර තිබෙනවා.
වසර එකහමාරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇපමත මුදාහැරීම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව සැකකරු සඳහන් කරනවා.
ඒ අනුව තමන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝග ප්‍රතිශෝධනයකර තමන්ව ඇප මත මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු මහාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.





