විවාහ සාදයක දී අමතර කුකුළු මස් කැබැල්ලක් ඉල්ලා සිටි තරුණයෙක්ට මනාලයා විසින් පිහියකින් ඇන ඝාතනය කළ පුවතක් වාර්තා වනවා.
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙලගාවි ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
තරුණයෙකු විවාහවීමේ සතුට මුල්කරගෙන එම මනාලයා විසින් ඊයේ (14) රාත්‍රියේ පැවැත් වූ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර මෙම අපරාධය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සාදය සඳහා මනාලයා තම මිතුරන් පිරිසකට ද ආරාධනා කර ඇති අතර, ඒ සඳහා විනෝද් මලෂෙට්ටි නැමැති ඔහුගේ මිතුරෙක් ද සහභාගී වී තිබෙනවා.
වාර්තාවලට අනුව, විනෝද් ආහාර පිළිගන්වමින් සිටි කෝකියාගෙන් අමතර කුකුළු මස් කැබැල්ලක් ඉල්ලා ඇති අතර, එහිදී ලබාදුන් කැබැල්ල කුඩා එකක් බවයි ඔහු චෝදනා කර ඇත්තේ.
එම අවස්ථාවේ දී මනාලයා ද එම ස්ථානයට පැමිණ ඇති අතර, එහිදී විනෝද් සහ මනාලයා අතර මේ සම්බන්ධයෙන් ආරවුලක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී මනාලයා විසින් මුළුතැන්ගෙයි ළූණු කැපීමට භාවිත කරන පිහියකින් විනෝද්ට ඇන ඇති අතර, එම අවස්ථාවේ බරපතළ තුවාල ලැබූ එම තරුණයා එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කර්ණාටක පොලිසිය විමර්ශනයක් ආරඹා ඇති බවයි වාර්තා වුණේ.





