දෙවුන්දර ධීවර වරායෙන් මුහුදුගොස් අනතුරට ලක්වූ ධීවර යාත්‍රාවේ සිට මේ වනවිට අතුරුදන්ව සිටින ධීවරයා සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ දෙව්නුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයෙක්.
වාණිජ නෞකාවක ගැටී පෙරේදා (28) රාත්‍රියේ අනතුරට ලක්වූ දිනේෂ් 01 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස්දෙනාගෙන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමට හැකියාව ලැබුණා.
මෙම අනතුරින් යාත්‍රාවේ සිටි තවත් ධීවරයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, ඔවුන්ගේ මෘත ශරීර ඊයේ (28) දිනයේ ගාල්ල ධීවර වරාය වෙත රැගෙන ආවා.
මෙලෙස මියගොස් ඇත්තේ 58 සහ 46 යන වයස්වල පසුවන දෙව්නුවර සහ වැලිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
දෙවුන්දර ධීවර වරායෙන් පෙරේදා (27) පස්වරුවේ මුහුදු ගොස් ඇති මෙම ධීවර යාත්‍රාව ගොඩබිමට මුහුදු සතපුන් 20ක් පමණ දුරකින් රැඳී සිටි අවස්ථාවේ වාණිජ නෞකාවක ගැටී තිබෙනවා.
එම අවස්ථාවේ දී යාත්‍රාව පෙරළී ගොස් ඇති අතර, එහිදී එක් ධීවරයෙක් පෙරළී ගිය යාත්‍රාව උඩට නැග සිය ජීවිතය බේරාගෙන තිබුණා.
යාත්‍රාව තුළ සිරවී සිටි තවත් ධීවරයෙක් පැය කිහිපයකට පසු මුදාගැනීමට සමත් වුණා.
නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව මේ වනවිටත් මෙම මෙහෙයුම් සිදුකරනු ලබන අතර, ඒ සඳහා ධීවර යාත්‍රා කිහිපයක් ද එක්ව සිටිනවා.












