සමගි ජන බලවේගය පක්ෂයේ හේවාහැට ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර අත්තනෝමතික ව සහ පක්ෂ ගිවිසුම්වලට එරෙහිව දේශපාලනික පත් කිරීම් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
එනම්, සමගි ජන බලවේග පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ජුනි මස 18 (ඊයේ) දින නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට ඇති කරගත් එකඟතා පරිදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ සභිකයෙකු ලෙස කටයුතු කරන හිමේෂ් තෙන්නකෝන් නමැත්තාව පත් කරන ලෙසයි.
ඊට අමතර ව එම සභාවේ උප සභාපති ධුරයට සමගි ජන බලවේගය පක්ෂයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභා සභික ආර්.එම්.කේ. රාජනායක මහතා ව පත් කිරීම සඳහා නාම යෝජනා කර ඇතැයි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් හේවාහැට ප්‍රධාන සංවිධායක අර්ල් ගුණසේකර මහතාට දන්වා තිබෙනවා.
නමුත් එකී පක්ෂ ප්‍රතිපත්තිවලට අනුගත නොවෙමින්, අර්ල් ගුණසේකර මහතා විසින් සමගි ජන බලවේගය පක්ෂයේ උප සභාපති ලෙස හේවාහැට ප්‍රාදේශීය සභාවේ පත් කිරීමට යැයි පක්ෂයෙන් ම දැනුම් දුන් ආර්. එම්. කේ. රාජනායක නමැත්තාව සභාපති ධුරයට පත් කර ඇති බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරන්නේ.
මෙම අනීතික ව පක්ෂ නීතිරීති උල්ලංඝනය කරමින්, පක්ෂ මහලේකම් මෙන් ම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් ද උල්ලංඝනය කරමින් අදාළ පත් කිරීම සිදු කිරීමට ඇතැම් ප්‍රාදේශීය සභා සභිකයින්ගේ සහාය හේවාහැට ප්‍රධාන සංවිධායක අර්ල් ගුණසේකර ලබාගෙන ඇති බවට ද ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කරනවා.
මෙවන් තත්ත්වයක් තුළ සමගි ජන බලවේගය පක්ෂය තුළ සහ එකී පක්ෂය වෙනුවෙන් හේවාහැට නියෝජනය කරන පිරිස් අතර අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.
හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරා පත් කරගැනීමට පැවති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයට ඡන්ද 21ක් ද, මාලිමාවට ඡන්ද 19ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 03ක් ද, ස්වාධීන කණ්ඩායම් වෙතින් එක් ඡන්දයක් ද හිමි වුණා.
හේවාහැට ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධුරය හිමි ව ඇත්තේ පියල් රණසිංහ හට යි.





