ජනපතිගේ වියට්නාම් රාජ්‍ය සංචාරය 04 දා ඇරඹෙයි

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕංග් (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 04 වන දා සිට 06 වන දා දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිත ව සිටිනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා මැයි 03 වැනි දින රාත්‍රියේ දිවයිනෙන් බැහැර ව යනු ඇති බවයි.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සැපිරීම සනිටුහන් කරමින් සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ මෙම වියට්නාම් රාජ්‍ය සංචාරය තුළින් දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපතිවරයා, වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවල නිරත වීමටත්, කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් හමු වීමටත් නියමිතයි.

තව ද හෝ චි මිං නගරයේ දී මැයි 06 වැනි දින ආරම්භ වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එහි ප්‍රධාන දේශනය ද පවත්වනු ඇති.

එසේම, මෙම සංචාරයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද, ව්‍යාපාරික ප්‍රජාව හමු වී සාකච්ඡා පැවැත්වීමට ද අපේක්ෂිතයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම රාජ්‍ය සංචාරයට එක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?