දෙකෝටියකට වැඩි විදෙස් මුදල් රටින් පන්නන්න හැදූ අයෙක් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට

රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව වෙත රැගෙන යාමට තැත් කළ ගුවන් මගියෙක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, කඩොල්කැලේ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

මෙම පුද්ගලයා අද (11) අලුයම 01.07ට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරණ ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී මොහුගේ ගමන් මල්ල පරීක්ෂා කළ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ඒ තුළ තිබී මෙම විදෙස් මුදල් තොගය සොයාගෙන තිබෙනවා.

එහිදී යූරෝ 41,000ක්, කැනේඩියානු ඩොලර් 40,000ක්, ස්විස් ෆ්‍රෑන්ක් 15,000ක්, සෞදි රියාල් 3,500ක් සහ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 40ක් සොයාගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ.

මෙහිදී මෙම ගුවන් මගියා රැගෙන යාමට තැත් කළ මුදල් සියල්ල රාජසන්තක කර ඔහුට රුපියල් තිස්එක් ලක්ෂ හැත්තෑ හයදහස් අටසීයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.

එම දඩ මුදල ද ගෙවා දැමීමට අදාළ ගුවන් මගියා පියවර ගෙන තිබූ බවයි ගුවන්තොටුපොළ දසත නිවුස් වාර්තාකරු පැවසුවේ.