Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වොයේජර් 1 යානය අභ්‍යවකාශයේ ආලෝක දිනයක් සම්පූර්ණ කළ ලොව පළමු මිනිස් නිර්මාණය බවට පත්වීමට නියමිතයි

නාසා ආයතනයේ වොයේජර් 1 යානය වොයේජර් 1 යානය එළැඹෙන 18 වැනිදා වනවිට අභ්‍යවකාශයේ ආලෝක දිනයක් සම්පූර්ණ කළ ලොව පළමු මිනිස් නිර්මාණය බවට පත්වීමට නියමිත බවට නිවේදනය කරනවා.

අභ්‍යාවකාශයේ සැතපුම් බිලියන 16.09ක දුරක් ගමන්කිරීමෙන් පසුව ආලෝක දිනයක් සම්පූර්ණ වන අතර, වොයේජර් 1 යානය 18 වැනිදා එම දුර ප්‍රමාණය සපුරනු ඇතැයි නාසා ආයතනය ප්‍රකාශ කරනවා.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන් සහ ඒවායේ චන්ද්‍රයන් පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීම සඳහා මෙම යානය 1977 සැප්තැම්බර් 5 වැනිදා ෆ්ලොරිඩාහි කේප් කැනවරල් සිට අභ්‍යාවකාශගත කෙරුණා.

වසර 5ක කාලයකට සීමා කර තිබූ ප්‍රධාන මෙහෙයුම සාර්ථක අවසන්කිරීමෙන් අනතුරුව වොයේජර් 1 යානය සූර්යයාගේ බලපෑම අවසන්වන සීමාවෙන් ඔබ්බට ගොස් තාරකා අතර අවකාශය ගවේෂණය කිරීමටද යොදාගැනුණා.

සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් මත නයිට්‍රජන් බහුල ඝන වායුගෝලයක් ඇති බව තහවුරු කළේ වොයේජර් 1 යානය විසිනි.

එමෙන්ම 1990 වසරේ පෙබරවාරි 14 වැනිදා, කිලෝමීටර බිලියන 6ක් පමණ ඈත සිට පෘථිවිය දෙසට කැමරාව හරවා Pale Blue Dot නමින් හැඳින්වෙන ඓතිහාසික ඡායාරූපයද වොයේජර් 1 යානය මගින් ලබාගත් එකකි.

2012 වසරේ අගෝස්තු 2‍5 වැනිදා සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රය පසුකර අන්තර් තාරකා අවකාශයට ඇතුළු වූ පළමු යානය බවට පත්වූයේද වොයේජර් 1 යානයයි.

යානය අභ්‍යවකාශගත කරන අවස්ථාවේ ඊට ඇතුළත් කළ දත්ත පිළිබඳව නාසා ආයතනයේ සේවය කරන ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල අදහස් පළකර තිබෙනවා.

“එහි අඟල් 12ක ප්ලැටිනම් තැටියක් සහ රන් තැටියක් අඩංගු වෙනවා.අපේ සූර්යයා, මන්දාකිණිය වගේම පෘථිවිය පිළිබඳ තොරතුරු මෙන්ම අපේ පෘථිවියේ පවතින විවිධ ශබ්ද ඊට ඇතුළත් කරලා තිබෙනවා.

එහි භාෂා 55කින් පමණ සුබ පැතුම් ඇතුළත් වන අතර, ඒ අතරට ‘ආයුබෝවන්’ යන වචනය ද ඇතුළත් වෙනවා.

බුද්ධිමත්, දියුණු සහ අභ්‍යවකාශය තරණය කිරීමේ හැකියාව ඇති ශිෂ්ටාචාරයකට යම්කිසි දවසක එය හමුවේ යැයි උපකල්පනය කළොත්, විශ්වයේ එම ස්ථානයේ නැත්නම් මන්දාකිණියේ එම කොටසේ, මීට මිලියන ගණනක් වසරකට පෙර ජීවය පැවතුණු බව ඔවුන්ට සොයාගන්න පුලුවන් වේවි.”

යානය අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂි කඩඉමක් සනිටුහන් කරන මොහොත සැමරීමට එක්වන්නැයි නාසා ආයතනය ලෝකවාසීගෙන් ඉල්ලා සිටිනවා.

නොවැම්බර් 17 වැනිදා හිරු බැසීමෙන් අනතුරුව තම ජංගම දුරකථන හෝ වෙනත් ආලෝක ධාරා අහස දෙසට දල්වමින් මේ සුවිශේෂි මොහොත සැමරීමට එක්වන ලෙසට ඔවුන් ආරාධනා කරනවා.