සැලකිය යුතු කාර්යය සාධන මට්ටම නොමැති වීම මත පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම්

දේශපාලන හේතු මත කිසිදු පොලිස් ස්ථානාධිපතිවරයෙකු ස්ථාන මාරුකිරීම් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

දීර්ඝ කාලයක සිට පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරුකිරීම් සිදුකර නොතිබූ පසුබිමක මෙම මාරුකිරීම් සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා කියා සිටියේ.

ඇතැම් නිලධාරීන්ගේ කාර්ය සාධනය නොමැතිකම ද ස්ථාන මාරු කිරීමට හේතුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඊයේ (11) රාත්‍රියේ දී පොලිස් නිලධාරීන් රැසක් ස්ථාන මාරුකිරීම් සිදුකළ අතර එම සංඛ්‍යාව 139ක්.

එයට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 104ක් සහ ⁣පොලිස් පරීක්ෂකවරු 35ක් ඇතුළත්.

මෙම ස්ථාන මාරුවීම් පෙබරවාරි 13 වැනිදා සහ 18 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙහිදී පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස සේවය කළ නිලධාරීන් 51ක් සාමාන්‍ය සේවයට යොදවා තිබෙනවා.

මූලස්ථාන පොලිස් පරීක්ෂකයෙක් ලෙස සේවය කළ නිලධාරියෙකු ද සාමාන්‍ය රාජකාරී සඳහා යොදවා ඇති බව සඳහන්.