නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට චන්දන වික්‍රමසිංහ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතාව පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අදාළ ප්‍රකාශය සිදු කරනු ලැබුවා.

ඒ අනුව අදාළ පත් කිරීම පෙබරවාරි මස 09 වැනි දින සිට ක්‍රියාත්මක වනු ඇති.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 49 වන යුද සේවා ලේකම්වරයා ලෙස ද යුද්ධ හමුදාවේ 17 වන ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කරනු ලැබුවා.

මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ඉන්දියානු හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 87 සහ ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 31 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට එක් වූ අයෙක්.

මූලික පුහුණුව සාර්ථකව හැදෑරු හෙතෙම දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව 2 වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරුණා.

වර්ෂ 2007 – 2008 කාලය තුළ ‘හයිටි’ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ මාණ්ඩලික නිලධාරියෙකු මෙන්ම එක්සත් ජාතීන්ගේ සිවිල්-හමුදා පුහුණු නිලධාරියෙකු ලෙස ද සේවය කර තිබෙනවා.

මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මානුෂීය මෙහෙයුමේදී නිර්භීතව සිදුකළ කැපකිරීම් වෙනුවෙන් එතුමා වෙත රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කම දෙවතාවක් පිරිනමා තිබෙනවා.

යාපනයේ පිහිටි 511 වන බලසේනාවේ බලසේනාධිපති ධුරය ද හොබවා ඇති ඔහු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන පීඨයේ පීඨාධිපති ධුරය හොබවා ඇති විශිෂ්ටයෙක්.

එම විශ්වවිද්‍යාලයේම උපායමාර්ගික අධ්‍යයන අංශයේ ප්‍රථම පර්යේෂණ සම්බන්ධීකරණ නිලධාරියා වීමේ භාග්‍යය ද හිමි වූ ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති චරිතයක් ද වනවා.

මාතලේ විජය විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ගෞරවනීය ආදි ශිෂ්‍යයෙකු වන මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ජාත්‍යන්තර පර්යේෂණ මට්ටමේ වෘත්තීය හමුදා නිලධාරියෙකු සහ බහුවිධ විෂය ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂකයෙකු ද වනු ඇති.