Hpv එන්නත විද්ද 7 පන්තියේ ශිෂ්‍යාවන් 05 දෙනෙකු රෝහල්ගත කෙරේ

ගැබ්ගෙල පිළිකා (Hpv) වැළැක්වීම සඳහා දෙන එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් 05 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ; මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අඟුරුවාතොට – වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවන් පස්දෙනෙක්.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් පැමිණ
එම පාසලේ 7 ශ්‍රේණිය ඉගෙනුම ලබන සිසුවියන් 26 දෙනෙකු උදෙසා මෙම එන්නත ලබා දී තිබෙනවා.

එන්නත ලබා දී මඳ වේලාවකින් අනතුරුව සිසුවියන් පස්දෙනෙකුට හිසේ රුදාව, උදරය වේදනාව, හා ක්ලාන්තය ආදි රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් මිල්ලනිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් ම රෝගාතුර වූ එම සිසුවියන් හල්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා.

එම රෝහලේ දී මූලික ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පැවසෙන්නේ.

එම සිසුවියන් මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ අංක 6 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව හොරණ රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

අඟුරුවාතොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.