සැක කටයුතු ලෙස හෝටලයක රැඳී සිටි විදෙස් ජාතිකයින් 10ක් අල්ලයි

සංචාරක හෝටලයක සැක කටයතු ලෙස රැඳී සිටි විදේශීය ජාතිකයින් දසදෙනෙකුව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

හලාවත පොලීසිය පැවසුවේ; ඊයේ (15) රාත්‍රී 9.15 ට පමණ මෙම වැටලීම සිදු කර ඇති බවයි.

අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර පිරිමි 08 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනකු ද සිටිනවා.

ඔවුන් ඉතියෝපියා , චීන, මැලේසියා සහ කොරියානු ජාතිකයින් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් සතුව තිබී ජංගම දූරකථන 282ක් සහ පරිගණක 20ක් ද පොලිස් භාරයට ගැනුණා.

පුත්තලම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිස් ස්ථානය මගින් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරනවා.