යාපනය වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් පහරදීමකින් මිය ගිය තරුණයා පැහැරගෙන ගිය කාර්රථය යාපනය අරාලි ප්‍රදේශයේ පිහිටි කෝවිලක් ආසන්නයේ තිබී සොයාගැනීමට යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සමත්ව තිබෙනවා.
අරාලි උතුර ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක් ආසන්නයේ මෙම කාර්රථය සැකකරුවන් විසින් දමා පලාගොස් තිබියදී අසල්වාසී නිවසක අයෙකු ඒ පිළිබඳව යාපනය පොලීසියට දැනුම් දී තිබුණා.
පසුව යාපනය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමේදී කාර්රථය අබලන් වූ බවට ඒත්තු ගැන්වීම සඳහා සැකකරුවන් විසින් කාර්රථය දුහුවිලිවලින් නහවා පැරණි ස්වරූපයක් ලෙසට හැඩගස්වා තිබී ඇති අතර කාර්රථය ඇතුලත පරික්ෂා කරන ලද පොලිස් නිලධාරීන්ට එහි තිබී ලේ පැල්ලම් රැසක් හමු වී තිබෙනවා.
මේ අතර මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේදී මරණ පරික්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.මයුරදන්ගේ වාර්ථාවට අනුව මෙම මරණය සිදුව ඇත්තේ තියුණු ආයුධවලින් පහරදීම, සිරුරට විවිධ වූ වධහිංසා පැමිණවීම හේතුවෙන් ස්වසන මාර්ගයට රුධිරය වහනය වීම නිසා බවට අනාවරණය වී තිබෙනවා.
මේ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (13) දින කිලිනොච්චියේ සැඟව සිටි සැකකරුවන් සිව් දෙනෙකුද වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ සැඟව සිටි සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අධිකරණය විසින් අවසර ලබා දී තිබුණා.
මේ වන විට අදාල ඝාතනයට යොදාගත් බවට සැකකෙරෙන කාර්රථයක් සහ යතුරුපැදි දෙකක්, ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇති අතර තවත් සැකකරුවන් පිරිසක් සොයා පරික්ෂණ ආරම්භ කොට ඇතැයිද පරීක්ෂණ සිදුකරන වඩුක්කොඩ්ඩෙයි පොලිසිය සහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.











