වෛද්‍යවරයෙකු පැහැරගෙන යෑමේ සිද්ධියකට උපකාරක පන්ති ගුරුවරයෙක් අත්අඩංගුවට

‌රුපියල් ලක්ෂ 40 ක කප්පම් මුදලක් ලබාගැනීමට බදුල්ල මහ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු පැහැරගෙන යෑමේ සිද්ධියකට උපකාරක පන්ති ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ කළ වැටලීමකදී

බදුල්ල මහ රෝහලේ රාජකාරී කරන ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු බලහත්කාරයෙන් රැගෙන ගොස් ගාල්ල මීටියාගොඩ ප්‍රදේශයේ රඳවා ගෙන සිටින බවට හික්කඩුව පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබී තිබුනා.

ඒ් අනුව, ඊයේ සවස 2 ට පමණ ජීපීඒස් තාක්ෂණය යොදා ගනිමින් අංක 38 මලවැන්න, තෙල්වත්ත ප්‍රදේශයේ නිවසක් පොලිස් නිලධාරීන් විසින් සෝදිසි කළ අතර එහිදී පැහැරගැනීමකට ලක්ව සිටි වෛද්‍යවරයා සොයාගෙන තිබෙනවා.
පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ රුපියල් ලක්ෂ 40 ක මුදල් කප්පමක් ලබාගැනීම සදහා කළුතර දොඩංගොඩ ප්‍රදේශයේදී වෛද්‍යවරයාව පැහැරගෙන හික්කඩුව මලවැන්න ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවයි.

කප්පම් මුදල නොගෙවන්නේ නම් වෛද්‍යවරයා මරා දමන බවට පැහැරගත් පුද්ගලයා තර්ජනය කර ඇති අතර වෛද්‍යවරයාට ඔහුගේ හිතවතෙකුට දුරකථනයෙන් කථාකිරීමට පමණක් අවසර ලබා දී තිබෙනවා.

වෛද්‍යවරයා ලබාදුන් දුරකථන ඇමතුමෙන් තමා සිටි ස්ථානය පිළිබඳ යම් ඉගියක් ලබා දී ඇති අතර ඒ් අනුවයි ඔහුව බේරාගැනීමට පොලිසියට හැකිව ඇත්තේ. වෛද්‍යවරයාව පැහැරගත් 28 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙක් පොලිසිය අත්අඩංගුවට ගත්තා.

සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත සැකකරු මුදා හැරීමට අධිකරණය නියෝග කළා.