භික්ෂුන් වහන්සේලා හා පරිසරවේදීන් පිරිසකට තාඹුගලගේ මැර පිරිසකගෙන් ප්‍රහාරයක් (වීඩියෝ)

අනුරාධපුර – රාජාංගනය යාය 10 , විල්පත්තු ප්‍රේරක කලාපයේ සිදු වන පරිසර හානියක් නිරීක්ෂණයට ගිය භික්ෂුන් වහන්සේ හා පරිසරවේදීන් පිරිසක් ගමන්ගත් රථ දෙකකට සංවිධානාත්මක මැර පිරිසක් පහරදී තිබෙනවා.

ඔවුන් චෝදනා කරන්නේ කෝමාරිකා වගා කිරීමේ මුවාවෙන් විල්පත්තුව ප්‍රේරක කලාපය වනසන බවට චෝදනා එල්ල වන අවුරා ලංකා ආයතනයේ හිමිකරු වන ව්‍යාපාරික විරංජිත් තාඹුගලගේ මැර පිරිසක් විසින් අදාල පහරදීම සිදුකළ බවයි.

මේ අතර රාජාංගණය යාය 10 ප්‍රදේශයේ අද උදෑසන ඇති වූ සිද්ධියට සම්බන්ධව එක් පුද්ගලයෙකු තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරකිමු ශ්‍රී ලාංකා ජාතික ව්‍යාපාරයේ මහලේකම් පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ඇතුළු භික්ෂුන්වහන්සේ, පරිසරවේදීන් මෙන්ම මාධ්‍යවේදීන් පිරිසක් රාජාංගනය යාය 10 ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට අද පෙරවරුවේ පැමිණ තිබුණා.

ඒ අවුරා ලංකා ආයතනය මගින් කෝමාරිකා වගා කිරීමේ ව්‍යාපෘතියක් යටතේ විල්පත්තුව ප්‍රේරක කලාපය වනසා දමන බවට සමාජ මාධ්‍ය හරහා පළව තිබු වාර්තා පිලිබඳ සොයා බැලීම සඳහායි.

පළමුව ඔවුන් විල්පත්තුව ජාතික උද්‍යානයේ කලාඔය අඩවි ආරක්ෂක කාර්යාලයට පැමිණ සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කර තිබුනා.

මෙම කථාබහෙන් අනතුරුව පරිසර හානිය සිදුව ඇතැයි පැවසෙන ප්‍රදේශය නිරීක්ෂණය සඳහා යළි පැමිණෙන අවස්ථාවේදී මෙලෙස සංවිධානාත්මක මැර කණ්ඩායමක් විසින් ඔවුන් යන මග හරස් කළා.

මෙම මැර කණ්ඩායම පොලිස් නිලධාරීන් බලා සිටියදී මාධ්‍යවේදීන් ඇතුළු නිරීක්ෂණ කණ්ඩායමට පහරදුන්නේ මෙලෙසින්.

සිද්ධිය සම්බන්ධයෙන් පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ප්‍රමුඛ පිරිස විසින් මිහින්තලේ පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළා.

කෙසේ වෙතත්, උද්ගත වු තත්ත්වය සම්බන්ධයෙන් අප අවුරා ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ විරංජිත් තාඹුගල මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකම උත්සාහ දැරුවත් එය සාර්ථක වුයේ නැහැ.