නීති විරෝධිව මසුන් ඇල්ලු 12 දෙනෙකු අත්අඩංගුවට

මන්නාරම,ඔලේතොඩුවායි මුහුදු සීමාවේ  නීති විරෝධි දැල් ආම්පන්න හා කිමිදුම් උපකරණ යොදාගෙන මසුන් ඇල්ලීම් සිදුකළ 12 දෙනෙකු ඊයේ(17) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය පවසයි.

ධීවර පරීක්ෂක කාර්යාලය පැවසූවේ නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ධීවර බෝට්ටු හතරක්,කිමිදුම් උපකරණ කිහිපයක්,නීතිවිරෝධි ආකාරයෙන් ඇල්ලු මුහුදු කූඩෑල්ලන් කිලෝග්රැම් 968 ක් හා හක්බෙල්ලන් 34 සැකකරුවන් සතුව තිබි අත්අඩංගුවට ගෙන ඇති බවද ධීවර පරීක්ෂක කාර්යාලය සඳහන් කළහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු 22 ත් 48 ත් අතරේ වයසේ පසුවන පුද්ගලයින් වෙති.

සැකකරුවන් හා අත්අඩංගුවට ගත් භාණ්ඩ මන්නාරම,මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.