තවත් නාවික සැතපුම් 250ක මුහුදු කොටසක් මෙරටට ඈඳා ගැනීමේ සූදානමක්

විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන ජාතික සමුද්‍රීය කටයුතු පිළිබඳ ලේකම් කාර්යාලයට අදාළ කටයුතු පිළිබඳව පසුගිය 09 වනදා රැස්වූ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සභාපතීත්වයෙන් යුතු එම කමිටුව එදින රැස්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී ජාතික සමුද්‍රීය කටයුතු පිළිබඳ ලේකම් කාර්යාලයේ කාර්යභාරය, මුහුණදීමට සිදුව ඇති අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා වුණා.

මෙහිදී අදහස් දැක්වූ එම ලේකම් කාර්යාලයේ වත්මන් සභාපති ආචාර්ය එන්.පී විජයානන්ද ප්‍රකාශකර සිටියේ මෙරට ගොඩබිම සිට නාවික සැතපුම් 200ක් වන අනන්‍ය ආර්ථික කලාපයටත් එහා තවත් නාවික සැතපුම් 250කට දිවෙන මුහුදු ප්‍රදේශයක් මෙරට ආර්ථික කටුයුතු සදහා යොදා ගැනීමේ හැකියාව පවතින බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාගර නීතිය සම්බන්ධ ප්‍රඥප්තියට අනුව කලාපීය රටවල එකඟත්වය ඒ සදහා අවශ්‍ය බැවින් ඉන්දියාව ඇතුළු කලාපීය අනෙකුත් රටවල් සමඟ සාකච්ඡා තවදුරටත් සිදුකරමින් පවතින බව සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

ඉන්ධන ගවේෂණය, ජෛව විවිධත්වය ඇතුළු කරුණු නිසා මෙම සාගර කලාපය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව ද මෙහිදී සාකච්ඡා වුණා.

මේ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ද සම්බන්ධීකරණයෙන් මෙම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළා.

.