රැකියාවකට අවස්ථාව හිමි වන ලිපිය ( Job Offer Letter ) හෝ රැකියා ගිවිසුම් ලිපිය ( Job Contract ) නොමැතිව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කටාර් රාජ්යයේ රැකියා සදහා ගොස් , එහිදී රැකියා සොයා ගැනීමට නොහැකි වී , මාස දෙකක කාළයක් එරට රැදී සිට , තමන්ගේ වියදමින්ම ආපසු ශ්රී ලංකාවට පැමිණි ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් (22) දින අනාවරණය කර තිබේ .
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම සදහා මෙම ලිපි දෙකෙන් එකක් හෝ තිබීම අත්යාවශ්යවේ .
මොවුන් දෙදෙනාම නිකවැරටිය ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි .
මොවුන් කටාර් රාජ්යයේ සිටින ශ්රී ලාංකික රැකියා තැරැව්කරුවෙකු සමග දුරකථන මගින් සම්බන්ධ වෙමින් එක් අයෙකු රුපියල් ලක්ෂ 05 බැගින් ගෙවීමෙන් පසුව ඉකුත් ජූනි මස 17 දින එරට රැකියා සදහා පිටත්ව ගොස් තිබේ .
එහිදී ඔවුන්ට වසර 05 ක කාළයක් සදහා එරට රැදී සිටිමින් රැකියා වල නිරත වීමට අවශ්ය වීසා බලපත්ර ඇති බව එම තැරැව්කරුවා ප්රකාශ කර තිබුණි .
එහෙත් කටාර් රාජ්යයේ දෝහා ගුවන් තොටුපොළේ දී එරට ආගමන විගමන නිලධාරීන් මොවුන් දෙදෙනාට ලබා දී ඇත්තේ දින 90 ක කාළයක් එරට රැදී සිටීම සදහා අවශ්ය සංචාරක වීසා බලපත්රය .
මෙම තරුණයන් දෙදෙනා මාස දෙකක කාළයක් කටාර් රාජ්යයේ රැදී සිටිය ද රැකියාවක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර , පසුව ඔවුන්ගේ වියදමෙන් (22) දින ආපසු ශ්රී ලංකාව වෙත පැමිණ තිබේ .
මෙම තරුණයන් නැවතී සිටි නේවාසිකාගාරයේ තවත් මේ ආකාරයට , රැකියා නොමැතිව , ආපසු ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින තවත් ශ්රී ලාංකික තරුණයන් 11 දෙනෙකු සිටින බව ද මෙම සිදුවීම පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන ආගමන විගමන නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ අනවසර සංක්රමණ පිළිබඳ අංශයේ නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .
