රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි ඔක්තෝම්බර් මස 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණය නවරත්න මාරසිංහ මහතා ඉදිරියේදී යි කැඳවනු ලැබුවේ.
මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ගොනු කර තිබෙන මූලික විරෝධතාවලට අදාල වාචික දේශන ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්ර ප්රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් අධිකරණය මෙම මූලික විරෝධතා වලට අදාළ ලිඛිත දේශන ඔක්තෝබර් මස 27 වනදා ඉදිරිපත් කරන ලෙසටයි විත්ති පාර්ශ්වයට නියම කළේ.
2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්ය වරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අත්පත් කර ගත් රුපියල් මිලියන 75 කට අධිකව වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ විමල් වීරවංස හිටපු අමාත්යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.
