පිරිමි දරුවන් පාසල් පද්ධතියෙන් ක්‍රමයෙන් ගිලිහී යාම ගැන බැරෑරුම් ලෙස සිතා බැලිය යුතුයි – අග්‍රාමාත්‍යවරිය

පාසල යනු විභාග සමත්වීම සඳහා පමණක් අධ්‍යාපනය ලබාදෙන ස්ථානයක් නොවන බවත්, නායකත්වය, කණ්ඩායම් හැඟීම සහ ජීවිතයට අවශ්‍ය වටිනාකම් දරුවන් තුළ වර්ධනය කරන වැදගත්ම ස්ථානය බවට පාසල පත් විය යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ඊයේ (30) එක්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියා.

මෙහිදී පසුගිය 2023, 2024 සහ 2025 යන වර්ෂයන්ට අදාළව විෂය හා විෂය සමගාමී අංශයන්හි විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් වෙත ශ්‍රේණි ප්‍රවීණතා සම්මාන පිරිනැමීම ද සිදු කෙරුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබාගන්නා දරුවන්ට පමණක් නොව, ක්‍රීඩාව, කලාව සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි දක්ෂතා දක්වන දරුවන්ගේ හැකියාව ද හඳුනාගෙන ඒවා නිසි ඇගයීමට ලක් කිරීම වැදගත් බවයි.

විශේෂයෙන්ම උසස් පෙළ ශ්‍රේණිවල දී පිරිමි දරුවන් පාසල් අධ්‍යාපන පද්ධතියෙන් ක්‍රමයෙන් ගිලිහී යාම පිළිබඳව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, එම තත්ත්වයට බලපාන හේතු පිළිබඳව ගැඹුරින් සොයා බැලීමේ අවශ්‍යතාව අවධාරණය කළා.

දරුවන්ට ආදරය, රැකවරණය සහ සමාජය තුළ සාර්ථකව ජීවත්වීමට අවශ්‍ය කුසලතා පාසල තුළින් ලබාදිය යුතු බවත්, ඒ සඳහා දරුවන් පාසල තුළ රඳවාගත හැකි ආකර්ෂණීය හා සහායක ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම පාසල් පද්ධතියේ වගකීමක් බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියා.

අද වන විට වේගයෙන් වෙනස් වන ලෝකයක දැනුම, තාක්ෂණය සහ රැකියා ක්ෂේත්‍රය දිනෙන් දින වෙනස් වන බැවින්, ජීවිතය යනු හුදෙක් පොතපතේ දැනුමට හෝ ඩිජිටල් උපාංගවලට පමණක් සීමා වූවක් නොවිය යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, ජීවිත කාලය පුරා ඉගෙන ගැනීමට සහ සමාජය නිවැරදිව තේරුම් ගැනීමට ඇති ශක්‍යතාවන් වර්ධනය කර නොගතහොත් , ඉදිරියේදී ලෝකය ජය ගැනීම දුෂ්කර වන බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.