යාපනය,චුන්නාකම් ප්රදේශයේදී පිරිසක් විසින් පහරදි 54 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ වරදට පුද්ගලයින් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරුවන් ඊයේ(08) යාපනය මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව චුන්නාකම් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් වයස අවුරුදු 40 ත් 50 ත් අතර වයසැති සැකකරුවන් එළැඹෙන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය එහිදි නියෝග කළ බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ මියගිය පුද්ගලයා ප්රදේශයේ 19 හැවිරිදි තරුණියක් සමඟ ප්රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර, දින කිහිපයකට පෙර අදාළ පුද්ගලයා 19 හැවිරිදි පෙම්වතිය රැගෙන වෙනත් ප්රදේශයකට ගොස් ඇති බවයි.
එලෙස පෙම්වතිය රැගෙන ගොස් නැවත අදාළ පුද්ගලයා චුන්නාකම් ප්රදේශයට පැමිණ ඇති අතර, එහිදි තරුණියගේ ඥාතීන් විසින් අදාළ පුද්ගලයාට හා තරුණියට පහරදි ඇති බව පොලිසිය අනාවරණය කොටගෙන ඇත.පහරකෑමෙන් තුවාල ලැබු පුද්ගලයා යාපනය,තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට ඇති අතර, එහිදි අදාළ පුද්ගලයා මියගොස් තිබිණ. ඥාතීන්ගේ පහරකෑමෙන් 19 හැවිරිදි තරුණියද තුවාල ලබා රෝහල්ගතකොට ඇති බවද පොලිසිය සඳහන් කළහ.
මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ තෙලිප්පලෙයි රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්විණ. මියගිය පුද්ගලයා මීට පෙර විවාහකයෙකු වන අතර, තිදරු පියෙකු වන බවද පොලිසිය කීය.
සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
