ප්‍රමාදයකින් තොරව අස්වැසුම ගෙවන්න ඉක්මනින්ම බැංකු ගිණුම් විවෘත කරන්න – මුදල් රාජ්‍ය ඇමති

ප්‍රමාදයකින් තොරව සෘජුව, ප්‍රතිලාභින්ගේ ගිණුමට සුභසාධන දීමනා ලබාදීම සඳහා බැංකු ගිණුම් විවෘත කරන ලෙස රජය අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අභියාචනා සහ විරෝධතා ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර, බැංකු ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශිය ලේකම්වරුන් සහාය වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

නව ක්‍රමවේදය හදුන්වාදෙන තෙක්, අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, වකුගඩු රෝගීන් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් සඳහා දැනට පවතින සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් නොවෙනස්ව පවතිනු පවත්නා බව ද ඔහු දැනුම් දෙනවා.

කෙසේ වෙතත්, ඉදිරියේ දී සියළු ගෙවීම් ප්‍රතිලාභියාගේ ගිණුමට බැර කරන බැවින් කඩිනමින් බැංකු ගිණුමක් විවෘත කර එහි තොරතුරු ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත දැණුම් දෙන ලෙස ප්‍රතිලාභීන්ගෙන් රජය ඉල්ලා සිටිනවා.