වතු නිවාස පේලියක ගින්නක් – වතු කම්කරුවන් 59ක් අවතැන්

රාගල පොලිස් වසමට අයත් රාගල වතු යායේ දෙවනි කොටසේ වතු නිවාස පේලියක අද (12) දින අලුයම හටගත් ගින්නකින් එම වතු නිවාස පේලියට අයත් නිවාස 14 ක් ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

අද (12) දින අලුයම 3 ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාස වලට පැතිර ගොස් ඇති බවත්, පැතිර ගිය ගින්න එම වතු යායේ වතු කම්කරුවන් , රාගල පොලිසියේ නිලධාරින්,නුවරඑලිය තුන්වන සිංහ රෙජිමෙන්තුවේ භට පිරිස් එක්ව නිවා දැමිමට සමත් වි ඇත.

පැතිර ගිය ගින්නෙන් එම නිවාස වල පදිංචිව සිටි පවුල් 14 කට අයත් සමාජිකයන් 59 දෙනෙකු අවතැන් වි ඇති බවත් ,එම අවතැන් වුවන් මේ වන විට එම වතු යායේ කොවිලේ තාවකාලිකව නතර කර ඇති බවට සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

ගින්න හටගන්නා අවස්තාවේ නිවාස වල කිසිවෙක් නොසිටි බවත්, එම නිවාස වල පදිංචිකරුවන් ඊයේ (11) දින මහ ශිවරාත්‍රි දිනය හේතුවෙන් එම වතු යායේ කොවිලේ පැවති ශිව රාත්‍රි පුජාවන් වලට සහභාගි වි සිටි බව රාගල පොලිසිය කියා සිටියේය.

ගින්නෙන් එම නිවාස වල පදිංචිව සිටි පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල ගින්නෙන් විනාශ වි ඇති අතර, ගින්නට හේතුව විදුලි කාන්දු විමක් බවට සැකකෙරේ.

ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත.

ගින්නෙන් අවතැන් වු වතු කම්කරු පවුල් සදහා වලපනේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , වතු පාලන අධිකාරිය සහ රාජ්‍යය නොවන සංවිධාන කිහිපයක් එක්ව අවශ්‍යය මුලික පහසුකම් ලබාදිමට කටයුතු කර ඇති බව ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් පැවසිය.

ගින්න සම්බන්ධයෙන් රාගල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?