ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය තියුණු සටනකින් පසු ජය ගන්නට නවසීලන්ත කණ්ඩායම අද (08) සමත් වුණා.
නවසීලන්ත ඉනිමේ එක් පන්දුවක් ඉතිරිව තිබිය දී ඔවුන් මෙම තරගය ජය ගත්තේ කඩුලු 04කින්.
මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි තරගාවලියේ ජය තරග දෙකට එකක් ලෙස නවසීලන්තය සතු වුණා.
මෙම තරගයේ කාසිය වාසිය දිනු නවසීලන්ත නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 182ක්.
එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 73ක් සහ කුසල් පෙරේරා ලකුණු 33ක් රැස්කරමින් පිත්තෙන් සිය දායකත්වය ලබා දුන්නා.
පන්දු යැවීමේ දී බෙන් ලිස්ටර් ශ්‍රී ලංකා කඩුලු 02ක් බිඳ දැමුවා.
අනතුරුව ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට නවසීලන්ත ක්‍රීඩකයින් පිටියට පිවිසි අතර, එහිදී ටිම් සෙයිෆර්ට් සුපිරි ඉනිමක් දියත් කරමින් ලකුණු 88ක් පන්දු 47ක් තුළ රැස් කළා.
ඔහු වටා ගොඩ නැඟුණු නවසීලන්ත ඉනිම වෙනුවෙන් ටොම් ලේතම් ලකුණු 31ක් සහ චැඩ් බෝව්ස් ලකුණු 17ක් රැස් කිරීමට සමත් වුණා.
ජයග්‍රහණය සඳහා නවසීලන්තයට අවසන් පන්දුවාරය තුළ හිමි වූ ඉලක්කය ලකුණු 10ක්.
ලහිරු කුමාර යැවූ එම පන්දුවාරයේ දී කඩුලු 03ක් බිඳ දැමීමට ඔහුට හැකියව ලැබූ අතර, කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට අවාසනාව ගෙන එමින් නවසීලන්ත ඉනිමේ 119වන පන්දුවේ දී එම ඉලක්කය පසුකර යෑමට ඔවුන්ට හැකියාව ලැබුණා.
විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ වීරයා බවට පත්වීමට ටිම් සෙයිෆර්ට්ට හැකියාව ලැබුණා.













