වසර 4කට පසු වැඩිම සංචාරක ආදායම මේ වසරේ ජනවාරි මාසයේ දී වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
මහබැංකු සංඛ්‍යාලේඛන අනුව වසරේ ගත වූ කාලය තුළ රුපියල සියයට 4.4 කින් අතිප්‍රමාණය වී තිබෙනවා
ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛන අනුව ජනවාරි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 541ක් දක්වා පුලුල් වී තිබෙනවා.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 487ට මෙන්ම 2023 ජනවාරි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 445ට සාපේක්ෂව වෙළෙඳ හිඟය පුලුල් වීමට ආනයන වර්ධනය ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි මහබැංකුව පවසනවා.
අපනයන ආදායම ජනවාරි මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 971ක් ලෙස සටහන් වූ අතර එය 2023 වසරේ ජනවාරි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 978ට සාපේක්ෂව සියයට 0.8ක සුලු පහළ යෑමක්.
මේ වසරේ ජනවාරි මාසයේ කෘෂිකාර්මික අපනයන ආදායම වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.
ජනාවාරි මාසයේ දී ආනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1512ක් දක්වා 2023 වසරේ ජනවාරි මාසයට සාපේක්සව සියයට 6.2කින් ඉහළ ගොස් ඇතැයි මහබැංකු වාර්තාවේ සඳහන්.
ආනයනික සීමා ලිහිල් කිරීමත් සමග පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයන වියදම් ඉහළ යෑම ඊට ප්‍රධාන හේතුවක්.
ආහාර සහ ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ යන දෙඅංශයෙහිම ආනයන වියදම පුලුල් වශයෙන් ඉහළ ගොස් ඇතැයි මහබැංකුව පවසනවා.
මේ වසරේ ජනවාරි මාසයේ සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 342ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබෙනවා.
මෙය 2020 ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මාසික අගයයි.
2023 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂවමේ වසරේ ජනවාරි මාසයේදී සංචාරක ඉපැයීම් සීයයට 122.7කින් ඉහළ යෑමක් පෙන්නුම් කරනවා.
මේ වසරේ ජනවාරි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 488ක් දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 11.4කින් වර්ධනය වී තිබෙනවා.
මේ අතර, 2003 වර්ෂයේ සිට මෙරටට පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් සේවාවක් වන එතිහාඩ් (Etihad) ගුවන් සමාගම, 2024 මැයි 1 වනදා සිට කොළඹට සිදුකරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නංවා තිබෙනවා.













