මාරවිල දී කතක් පැහැර ගැනීමේ සිද්ධියේ කතුන් දෙදෙනාට ඇප – තවත් දෙදෙනෙක් අත්අඩංගුවේ

කටුනේරිය ප්‍රදේශයේ කාන්තාවක් පැහැර ගෙන ගොස් කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටි සැකකරුවන් දෙදෙනෙකු මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

කටුනේරිය – ලංසිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය 24 වනදා කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබුණා.

ඒ බව අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබු අතර, පැමිණිල්ල මත ක්‍රියාත්මක වූ මාරවිල පොලීසියේ නිලධාරීන් කොච්චිකඩේ – දළුවාකොටුව ප්‍රදේශයේ නිවසක රඳවා ගෙන සිටි එම කාන්තාව මුදාගත් බවයි වාර්තා වුණේ.

එහිදී කාන්තාව පැහැර ගෙන යාමට සම්බන්ධ බව කියන සැකකාරියන් දෙදෙනෙකු ද පොලීසිය විසින් එම අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා ඊයේ (25) මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 08 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 10 බැඟින් පැහැර ගැනීමට ලක් වූ කාන්තාව ලබාගෙන ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

මෙම කාන්තාව මෙලෙස පැහැරගැනීමට හේතුව මෙය බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ පවත්වනු ලබනවා.