දිවයිනට පැමිණ සිටින අයි.සී.සී නියෝජිතයින් ජනපති හමුවී සාකච්ඡාවක

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අනාගත ගමන් මඟ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් කණ්ඩායම අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ මෑතකාලීන වෙනස්වීම්වලින් අනතුරුව සිදුවන මෙම ICC නිලධාරීන්ගේ සංචාරය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමනට ඉතා තීරණාත්මක වනු ඇතැයි පැවසෙන අතර, ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට පෙර, මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී එහි නව පරිපාලන නිලධාරීන් සමඟ ඊයේ (16) සාකච්ඡාවල නිරත වී තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෙර පැවැති පාලනාධිකාරිය ඉල්ලා අස්වීමෙන් පසු, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් නව පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා ඉරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත් කරනු ලැබුවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික දේවාජිත් සකියා මෙලෙස දිවයිනට පැමිණ සිටිනවා.