ආරුක්කු 9ට උඩින් ඇති වන රක්ෂිතයේ ගින්නක්

මේ දිනවල පවතින දැඩි නියඟය සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විවිධ ප්‍රදේශවල කැලෑබස කොටස්වලට ඇතැම් පුද්ගලයින් ගිනි තැබීමේ සිදුවීම් වාර්තා වනවා.

එවැනිම සිදුවීමක් ඇල්ල ආරුක්කු 09 පාලම පිහිටි වන රක්ෂිත ප්‍රදේශයෙන් ද වාර්තා වුණා.

ඊයේ (24) පස්වරුවේ මෙම වන රක්ෂිතය හදිසියේ ම ගිනි ගෙන ඇති අතර; ගින්නෙන් බේරීම සඳහා ඌරන් රංචුවක් දිව යන ආකාරය ද දක්නට ලැබුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම වන රක්ෂිත දැඩි කඳු බෑවුම් සහිත ප්‍රදේශ බැවින් ගින්න නිවා දැමීම ද නොහැකි බවයි වාර්තා වන්නේ.

මෙවැනිම ගිනි ගැනීම් මෙම මාසය තුළ පමණක් කිතල්ඇල්ල, පුංචි ශ්‍රී පාදය ආශ්‍රිත ප්‍රදේශවලින් ද වාර්තා වුණා.