හුදෙකලාවේ ජීවත්වෙන වයෝවෘද්ධ පුද්ගලයන් හා හුදෙකලාවු නිවාස සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ සෘජු නියෝගය යටතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදා ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යු. වුට්ලර් ප්‍රකාශ කරනවා.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විශේෂ වීඩියෝ පණිවිඩයක් ද නිකුත්කර තිබෙනවා.
ඇතැම් ස්ථානවල හුදෙකලා වූ නිවාස, වයෝවෘද්ධ දෙමාපියන් හුදෙකලාවේ ජීවත්වෙන නිවෙස් තිබෙන බවත්, ඒ් අයුරින් හුදෙකලාවී, තනියම ජීවත්වෙන අම්මලා, තාත්තලාට අවදානමක් තිබෙන බවත් පොලීසියට වාර්තාවෙලා තිබෙන බවත් ඔහු ප්‍රකාශ කරනවා.
එම දෙමාපියන්ගේ දූ පුතුන් ඇතැම්විට විදේශ රටවල ජවත්වෙන හෝ නැත්නම් දුර බැහැර පළාත්වල රාජකාරි කරන, එමෙන්ම සමහර අය වෙනත් පළාත්වල ජීවත්වෙන බවටත් තොරතුරු ලැබී තිබෙන බවත් ඔහු පෙන්වා දෙනවා.
ඒ් අයුරින් හුදෙකලාවේ , තනිපංගලමේ ජීවත්වෙන වයෝවෘද්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සියළුම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අවධානය යොමුකර තිබෙන බවත්, ඒ් අනුව එම නිවාස, එහි ජීවත්වෙන පුද්ගලයන් සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන් යොදව ආවේක්ෂණ රාජකාරිවල යොදවලා තිබෙන බවත් සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කරනවා.
ඒ් වගේම එවන් නිවාසවල ජීවත්වන පුද්ගලයන්ගේ දරුවන් හෝ වෙනත් ඥාතියෙකුට එම නිවාස වල ජීවත්වෙන අයට යම් කිසි අවධානමක් ඇති බවට දැනෙන්නේ නම්, ඒ් පිළිබඳ ඔබ ප්‍රදේශයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක, ස්ථානාධිපතිවරයා හෝ මහජන ආරක්ෂක සම්බන්ධීකරණ කමිටුව විසින් පත්කොට ඇති ඔබේ වසමේ පොලිස් නිලධාරියා වෙත ඒ් කරුණු වාර්තා කරන මෙන් ඔහු මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
අදාල වසමට අයත් ග්‍රාම නිලධාරී ද දැනුවත් කරන්න කටයුතු කරන ලෙසත්, ඒ් මගින් පොලීසියට යම් ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කරගන්න පුළුවන් බවත් ඔහු පෙන්වා දෙනවා.
ඒ වගේම ඔබ ජීවත්වෙන ප්‍රදේශයේ සැක කටයුතු වාහනයක්, පුද්ගලයෙකු සැරි සරන්නේ නම්, ඒ් පිළිබඳව 119 හෝ 118 අංකයට හෝ ඔබගේ ප්‍රදේශයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, ස්ථානාධිපතිවරයාගේ අංකයට හෝ එහෙම නැත්නම් මහජන ආරක්ෂක සම්බන්ධීකරණ කමිටුවේ සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරන පොලිස් නිලධාරියා දැනුවත් කිරීමට කටයුතු කරන මෙන්ද, ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්නැයි ද තවදුරටත් ඔහු ඉල්ලා සිටිනවා.










