Rajapura Handi Oil
Rajapura Diabetic Powder

සුළි කුණාටු හා නාය යෑම් අනතුරු යාවත්කාලීන කෙරේ

ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද උදෑසන වන විට මඩකලපුව සිට කි.මී. 650 ක් පමණ දුරින්, නැගෙනහිර දෙසින් ස්ථානගත වී තිබුණු බවට කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව නිවේදනය කරනවා.

තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට දින (නොවැම්බර් 15) වන විට ‘ පීඩන අවපාතයක් ‘ දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, තවදුරටත් මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් මස 16 වැනිදා පමණ වන විට දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවට වර්ධනය වීමට හැකියාව පවතින බවටත් දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති නිවේදනයේ සඳහන් වෙනවා.

එමනිසා, 2026 නොවැම්බර් 14 දින උදෑසන 05.30 සිට, උතුරු අක්ෂාංශ 05ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වලත් නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැලකී සිටින ලෙස දැනුම් දෙනු ලැබෙනවා. එම මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාවන් ආරක්‍ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් ලබාදි තිබෙනවා.

ඒ අතරම පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙතවා.

ඒ අනුව අද (14) පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි විමසිලිමත්බවින් සිටින ලෙස දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට එම සංවිධානය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට, හාලිඇල, බදුල්ල, බණ්ඩාරවෙල, පස්සර, ඇල්ල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාවනැල්ල, අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ්, අඹගමුව කෝරළය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, වැලිගේපොල, ඇලපාත, අයගම යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.